Friday, March 29, 2024

Top 5 This Week

Related Posts

ආදරයට ගැහැණු පිරිමි භේදයක් නැහැ චමරි අතපත්තු

චමරි අතපත්තු කියන්නේ කවුද?
චමරි අතපත්තු කියන්නේ මම ක්‍රිකට් ක්‍රීඩිකාවක්. පුංචි කාලේ ඉඳන් ක්‍රිකට් සෙල්ලම් කළා. ක්‍රිකට් වලට මම ගොඩක් ආදරේ කළා. එකට ගොඩක් හේතු වුනේ මගේ මාමා. ඔහු ක්‍රිකට් පුහුණුකරුවෙක්. ඉතින් ඔහු ක්‍රිකට් පුහුණුකරුවෙකු නිසා මම ක්‍රිකට් වලට ආදරේ කළා. මාමාගෙන් ලොකු සහයෝගයක් ලැබුන නිසා මම ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වුනා. මගේ අප්පච්චිගෙන් සහ අම්මගෙන් ලොකු සහයෝගයක් ලැබුනා.ඒ නිසා මම අද ජාත්‍යන්තර මට්ටමේ වෘත්තීය මට්ටමේ ක්‍රීඩිකාවක්.

දැන් තියන කාන්තා ක්‍රිකට් ගැන මොකක්ද ඔයාගේ අදහස ?
ක්‍රිකට් ක්‍රීඩාව පිරිමි ළමයින්ගේ ක්‍රීඩාවක් කියලා තමයි හැමෝම කියන්නේ, විශේෂයෙන්ම ලංකාවේ. නමුත් ලෝකය ගත්තාම ගොඩක් ලොකු තත්වයක් දීල තියනවා කාන්තා ක්‍රිකට් වලට. ඉතින් කෙමෙන් කෙමෙන් මේ වෙද්දී ලංකාව තුලත් යම්කිසි ඉහල පිළිගැනීමක් දැන් කාන්තා ක්‍රිකට් වලට තියනවා. පහුගිය කාලේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම ගත්තාම ඒ තත්වය ඇතිවෙලා තියනවා.මේ වන විට සැම රටකින්ම වගේ වෘත්තීය මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩිකාවන් බිහිවෙලා තියනවා.

කාන්තාවක් විදිහට ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදීමේදී ඔබට ආපු අභියෝග සහ ඒවාට මුහුණ දුන්නේ කොහොමද? සමාජයේ තියෙන්නේ මොනවගේ මතයක්ද?
මම ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වෙද්දී මගේ පවුලෙන් විශේෂයෙන්ම අම්මගෙන් සහ තාත්තාගෙන් ලොකු සහයෝගයක් ලැබුනත් අනිත් අයගේ අදහස වුනේ ගැහැණු ළමයෙක්ට ක්‍රිකට් ක්‍රීඩාව සුදුසු නැහැ කියන එකයි. නමුත් අප්පච්චි තදින්ම හිටිය මගේ දියණියට ක්‍රිකට් ක්‍රීඩාව කරන්න පුළුවන්, ඒ නිසා මම ඇයව ඉහල මට්ටමකට යවනවා කියල. අම්මත් මම හිතන්නේ හිට්යේ ඒ අදහසෙමයි. ඒ නිසා මම ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉහලට අවා. නමුත් මම සමහර වෙලාවට පාසල් යනකොට bat අරන් යන එනකොට මට උසුළු විසුළු කරපු පිරිමි ළමයි හිටියා. ගැහැණු ළමයිනුත් හිනා වෙලා අමුතු විදිහට මම දිහා බලපු අවස්ථා තිබුණා. ඒ වගේම මම අප්පච්චි අක්ක bus එකේ practice වලට යද්දී ගොඩක් ය මගේ දිහා වපර ඇසින් බලපු අවස්ථා තිබුණා.මම ඒ හැම දෙයක්ම ඉවසගෙන තමයි මේ ගමන අවේ. ඒ වගේම මම මගේ ජිවිතයේ ක්‍රිකට් පටන්ගෙන ජාත්‍යන්තර මට්ටමට ළඟා වෙන්න ඔන්න මෙන්න තියෙද්දී අප්පච්චි ජිවිතයෙන් සමුගත්තා. ඒ එක්කම මම ගොඩක් හල හැප්පීම් වලට මුහුණ දුන්නා. විශේෂයෙන්ම කුරුණෑගල ඉඳන් කොළඹ ඇද්දී මට ගොඩක් කැප කිරීම් කරන්න සිද්ද වුනා. ඉතින් ගොඩක් අපහසුතා මධ්‍යයේ තමයි මම මේ ගමන අවේ. ලේසියෙන් ආපු ගමනක් නෙමෙයි.

පහුගිය දවස්වල වාර්ථා පිහිටෙවුවා, සම්මාන ගොඩාක් ලැබුනා.කියන්නකෝ ඒ ගැන පොඩ්ඩක්
පහුගිය වසරේ dialog සම්මාන රාත්‍රියේදී සම්මාන 7ක් මම ලබාගත්තා. ඒ වගේම පහුගිය ලෝක කුසලාන තරඟාවලියේ ලෝක වාර්තාවක් පිහිටුවන්න හැකියාව ලැබුනා. ඉතින් ඒ දේවල් ලැබුනේ හොඳින් ක්‍රීඩා කරපු නිසා. මම ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මිට වඩා හොඳින් ක්‍රීඩා කර රට ජයග්‍රහණය කරා ගෙනියන්න.

මේ දක්වා ලැබුන ප්‍රතිචාර කොහොමද?
ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබුනා.ලංකාවේ වගේම ජාත්‍යන්තරයෙනුත් ගොඩක් හොඳ ප්‍රතිචාර තියනවා. විශේෂයෙන්ම සමාජ ජාලා ඔස්සේ මට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඉතින් මම ඒ හැම දෙයක්ම සතුටින් භාරගන්නවා.

ඉස්සරහට එන්න තියන match මොනවද?
ඉදිරියේදී පකිස්ථාන කාන්තා ක්‍රිකට් කණ්ඩායමත් එක්ක මාර්තු මාසේ 21 වෙනිදා එක් දින ජාත්‍යන්තර තරඟ 3ක් සග 20/20 තරඟ 3ක් අපි ක්‍රීඩා කරනවා. ඊට අමතරව අපි ජුනි මාසේ ඉන්දියාවත් එක්ක ක්‍රීඩා කරනවා. ලංකාවේද එක් දින තරඟ 3ක් සහ 20/20 තරඟ 3ක් ද , ජුලි සහ අගෝස්තු යන මාස දෙකේ මම එංගලන්තයේ ලීග් තරඟාවලියට ක්‍රීඩා කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. සහ ඊළඟට ඉන් පසුව ආසියානු කුසලානය පැවැත් වෙනවා, ඒ වගේම 20/20 ආසියානු පැවත් වෙනවා. ඉතින් අවුරුද්ද පුරාම තරඟාවලි රාශියක්ම තිබෙනවා.

කාන්තා ක්‍රිකට් කණ්ඩායම ගැන මොකක්ද කියන්න තියෙන්නේ?
මේ වෙද්දී ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් රැසක් කණ්ඩායම තුල ඉන්නවා වගේම නවක ක්‍රීඩිකාවන් රැසක් කණ්ඩායමට ඇවිල්ලා ඉන්නවා. තව ක්‍රීඩිකාවෝ රැසක් කණ්ඩායමට අන්න බලාගෙන ඉන්නවා. අනාගතයේ මම විශ්වාස කරනවා දැන් ඉන්න කණ්ඩායමට වඩා දක්ෂ කණ්ඩායමක් ඉදිරියේදී නිර්මාණය වෙයි කියලා. මොකද ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන්ගේ අත්දැකීම් සහ නවක ක්‍රීඩිකාවන්ගේ ශක්තිය මේ හැමදෙයක්ම කැටි කරලා ගත්තම හොඳ කණ්ඩායමක් අනාගතයේ නිර්මාණය කරන්න පුළුවන්. ඉදිරියේදී එන 20/20 ලෝක කුසලානයේ අවසන් පුර්ව වටයට කණ්ඩායම ගෙන එක තමයි මගේ එකම බලාපොරොත්තුව. මම හිතනවා අපට ඒක කරන්න හැකියාවක් ලැබෙයි කියලා.

කාන්තාවක් විදිහට ජාත්‍යන්තර මට්ටමට ගිය ක්‍රීඩිකාවක් ලෙසට ඒ යන ගමනේදී ඔබට මුහුණපාන්නට සිදු වූ අභියෝග මොනවද?
මට වඩා ගොඩක් ජවසම්පන්න ක්‍රීඩිකාවන් තමයි විදේශ රටවල ඉන්නේ. නමුත් ඔවුන් එක්ක ක්‍රීඩා කරද්දී මම ගොඩක් වෙලාවට හිතන්නේ මට තියෙන සම්පත් ටික මොනවාද මගේ දුර්වලතාවයන් මොනවාද කියලා අදුරගෙන තමයි ක්‍රීඩා කරන්නේ. ඉතින් පහු ගිය කාලේ ජාත්‍යන්තර තරන්ගාවලි ගණනාවකටම අපි සහභාගී වුනා.ශ්‍රී ලංකා කණ්ඩායමත් එක්ක සහ පෞද්ගලිකව මම ගොඩාක් අත්දැකීම් ප්‍රමාණයක් ලබාගත්තා. ඔවුන් එක්ක ක්‍රීඩා කරද්දී ඇත්තටම පහසුයි.ඔවුන් උදවු කරනවා සහ ඔවුන් ආසයි ආසියානු රටවල ක්‍රීඩිකාවන් එක්ක ක්‍රීඩා කරන්න මම හිතන්නේ.එංගලන්ත තරඟාවලියේ ආසියානු රටකින් ක්‍රීඩා කල එකම ක්‍රීඩිකාව මම සහ තරඟාවලියේ ක්‍රීඩා කරපු දෙවන ආසියානු ක්‍රීඩිකාව මම. ඉතින් මට ඔවුන්ගෙන් ලොකු සහයෝගයක් ලැබුනා. ඔවුන් එක්ක මම ගොඩාක් අත්දැකීම් හුවමාරු කරගත්තා. ඒ හැමදෙයක්ම මම හිතන්නේ ඉදිර්යේදී මට ප්‍රයෝජනවත් වෙයි ශ්‍රී ලංකා කණ්ඩායමත් එක්ක ක්‍රීඩා කරද්දී.

කාන්තා ක්‍රිකට් හෝ මොනයම් හෝ කාන්තා කණ්ඩායමක් කිවුවම සමාජයේ සමලිංගිකයි කියන label එක වැදුන අවස්ථා අපි අහල තියනවා. ඒ ගැන මොකක්ද ඔයාගේ අදහස?
මම විශ්වාස කරන දේ තමයි ලෝකයේ ඕනිම මනුෂයෙකුට තමන් කැමති කෙනෙක්ට ආදරේ කරන්න පුළුවන්. එක් පිරිමි ළමයෙකුට තවත් පිරිමි ළමයෙකුට ආදරේ කරන්න පුළුවන්. ගැහැණු ළමයෙකුට තවත් ගැහැණු ළමයෙකුට ආදරේ කරන්න පුළුවන්. පිරිමි ළමයෙකුට ගැහැණු ළමයෙකුට ආදරේ කරන්න පුළුවන්. ආදරය කියන්නේ වෙනම මාතෘකාවක්. නමුත් ඔය label එක වැටෙන්නේ ගොඩාක් වෙලාවට ක්‍රීඩා කරන ක්‍රීඩිකාවන්ගේ ශක්තිය, ඒ කියන්නේ ගොඩක් gym යනවා, ව්‍යායාම කරනවා, ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය සාමාන්‍ය පිරිමි ළමයෙකු වගේ. ඉතින් ඒ නිසා තවත් ගැහැණු ළමයින් කිහිප දෙනෙක් ආශ්‍රය කරද්දී ඔය label එක වදිනවා. නමුත් මම සමාජයට කියන්නේ ගැහැණු ළමයෙක් ක්‍රීඩා කරන්නේ තමන්ගේ රට වෙනුවෙන්. සමහර වෙලාවට තමන්ගේ කණ්ඩායම වෙනුවෙන්. සුසන්තිකා ජයසිංහ ගත්තම ඇයගේ මුළු ජිවිතයම කැප කළා ඔලිම්පික් පදක්කමක් ලංකාවට අරන් එන්න. ඉතින් අපි හැමෝම අපේ රට ආදරෙයි. අපි හැමකෙනෙක්ම අපේ ශරීරය පවා කැප කරලා තමයි ක්‍රීඩා කරන්නේ. ඒ නිසා ඒ වගේ පටු මානසිකත්වයකින් බලන්න එපා. හැමකෙනෙක්ටම අයිතියක් තියනවා ඕනෑම කෙනෙක්ට ආදරය කරන්න. ක්‍රීඩිකාවක් හැමදේම කැප කරන්නේ සහ තමන්ගේ ලාලිත්‍ය කැප කරන්නේ කැමැත්තකින් නෙමෙයි. ඒ තමන්ගේ රට වෙනුවෙනුයි, ඒ නිසා වපර ඇහින් බලන්න එපා.

ක්‍රිකට් ක්‍රීඩාවට අලුතින් අන්න ඉන්න ක්‍රීඩිකාවන්ට මොකක්ද දෙන්න තියන පණිවිඩය?
ශ්‍රී ලංකාව තුල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රීඩිකාවන් හොඳින් බලාගන්නවා. ක්‍රිකට් ක්‍රීඩාවෙන් අනාගතයේදී ඔවුන්ට හොඳ ගමනක් යන්න පුළුවන්. මම ක්‍රිකට් ක්‍රීඩාව පටන් ගත්තට වඩා දැන් ඉතාමත් හොඳ මට්ටමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රිකට් ක්‍රීඩිකාවන් බලාගන්නවා සහ මුල්‍යමය වටිනාකමක් මේ වනවිට ක්‍රීඩිකාවන්ට ලැබිලා තියනවා. ඉතින් ඔවුන් කැප වුනොත් හොඳ ගමනක් යන්න පුළුවන්. කැප කිරීමක් අවශ්‍යයි හොඳ ක්‍රිකට් ක්‍රීඩිකාවක් වෙලා හොඳ ගමනක් යන්න. ඒ කැප කිරීම කලොත් අනිවාර්යෙන්ම ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩිකාවක් වෙන්න පුළුවන්. හොඳ ආරක්ෂාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ලැබෙනවා. ඉතින් මම මේක අවස්තාවක් කරගන්නවා ක්‍ර්කට් ක්‍රීඩාවට ආදරේ කරන පුංචි නංගිලාට ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ ඔබට ක්‍රීඩා කරන්න පුළුවන් හොඳ ක්‍රීඩාවක්. ඉතින් දෙමවුපියන්ට කියනවා තමන්ගේ දියණියට හොඳ හැකියාවක් තියනවානම් ක්‍රිකට් ක්‍රීඩාවට ඔවුන්ව යොමු කරන්න.ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔවුන්ව හොඳින් බලාගන්නවා.ඒ වගේම හොඳ පැහැබර අනාගතයක් ඔබේ දියණියට ලබා දෙන්න පුළුවන්.

 

 

 

 

Popular Articles