Thursday, April 25, 2024

Top 5 This Week

Related Posts

පරිඝනක අපරාධ පනත ගැන ඔබ දැනුවත් ද

” නීතිය ” මෙය ප්‍රවේශමෙන් විග්‍රහ කර ගත යුතු වචනයක්. එසේම ලෝකයේ සෑම තැනකම ජිවත්වන අප සියලු දෙනාටම එක ලෙසින් වැදගත් වන මාතෘකාවක්. නිවසේ මිණි පහන වන කාන්තා ඔබ, රටේ නිතිය පිළිබඳව දැන සිටීම අත්‍යවශ්‍ය කාරණාවක් වන නිසාම යි.

නුතන පරිඝනක යුගයේ ජිවත්වන ඔබේ ආරක්ෂාව පතා රට තුල පවතින නීති පද්ධතිය පිළිබඳව බොහෝ දෙනෙකු නොදන්නා තරම්. 2017 අංක 24 දරණ පරිඝනක පනත පිළිබඳව මෙලෙසින් අපි ඔබව දැනුවත් කරනු ලබන්නේ එබැවිනුයි.

” පරිඝනක අපරාධ ” මෙය අනාධිමත් කාලෙක සිට ලෝකයේ පැවති දෙයක් නොවේ. එය වර්තමානයේ පවතින විද්‍යාවේ හා තාක්ෂණයේ දියුණුව හේතුවෙන් අප මුහුණ පා සිටින ව්‍යසනයකි. එහෙත් අන්තර්ජාලය සහ පරිඝනකය පවතින්නේ අපේ දෛනික ජිවිතයේ රාජකාරිමය සහ පෞද්ගලික කාර්යයන් වඩාත් පහසු කර ගැනීම සඳහා බව ඔබ අවබෝධ කරගත යුතුයි. එහෙත් අන්තර්ජාලය භාවිතා කිරීම වර්ථමානය වන විට අතිශය සුලභ කාරණාවක් වී ඇති බැවිනුත්, උගත් නුගත් සියළු දෙනා කිසිඳු වග විභාගයකින් තොරව එය භාවිතා කිරීමට යොමු වී ඇති බැවිනුත් ” පරිඝනක අපරාධ ” බිහි වී ඇති බව පෙනේ. එය කෙසේ සිදු වුවද මෙයට වැඩි වශයෙන් ගොදුරු වන්නේ කාන්තා ඔබයි.

විශේෂයෙන් යොවුන් වියේ සිටිනා යුවතියන් තම කුමාරි බඹසර දක්වන සැලකිලිමත් බව අතීතයට සාපේක්ෂව බොහෝ සෙයින් හිනාව ගොස් තිබීම අවාසනාවකි. ආදරය, රාගය, ආකර්ෂණය, හැඟීම්, අවශ්‍යතාවයන්, ප්‍රේමය සහ සෙනෙහස වචනයන්ට එකිනෙකින් බොහෝ සෙයින් විකර්ෂණය වූ අර්ථයක් ඇති බව ඔවුන්ට අමතකව ගොස් ඇති සෙයකි. එබැවින් තම පෙම්වතා සහ සැමියා අතර පැවතිය යුතු සිමා මායිම් බොහෝ යොවුන් දියණියන් අමතක කර දමති.

පෙම්වතා විසින් පෙම්වතියගේ සොඳුරු ජායාරුපයක් ළඟ තබා ගැනීමට ඉල්ලා සිටීම යොවුන් ප්‍රේමයේ අවිහිංසකත්වය කියා පෑවේ අතීතයේදී ය. වර්තමානයේ, බොහෝ විට සිදුවන්නේ ඊට හාත්පසින්ම වෙනස් වූ දෙයකි. වර්ථමානයේ පෙම්වතුන් ඉල්ලා සිටින්නේ පෙම්වතියගේ වඩාත්ම සොඳුරු ජායාරුප නොව වඩාත් වැඩියෙන් ඇඳිවත උනා දමා දමා සිටින ජායාරුප වීමයි ඛේදවාචකය. මෙහි මෙහි ඇති අරුමය එය නොවේ. තම පෙම්වතාගේ සිතැඟි ඉටුකිරීමට, කැමරාව සහිත තම දුරකථනය ඉදිරියේ කිසිදු විලි බියක් නොමැතිව හිරි ඔතප් බිඳ දමාගැනීමට සැදී පැහැදී සිටින පෙම්වතියන්ද අද සමාජයේ සුලබ වීමයි. එහි අවසානය සෑම විටම ඛේදවාචකයක්ම වේ.

ප්‍රේමය බිඳ වැටුන විට පෙම්වතා විසින් පළමුව සිදු කරන්නේ පෙම්වතියගේ ජායාරුප අන්තර්ජාලයට මුසු කිරීමයි. අවමානයෙන් මිදීමට පෙම්වතිය ජිවිතයෙන් වන්දි ගෙවීමට උතසහ ගනියි. බොහෝ විට මෙවැනි අසංවර කථාවන්ගේ අවසානය එසේ වෙති. එහෙත් එය අනුවණකමකි. අවාසනාවකට ඔබ හෝ ඔබේ මිතුරිය මෙවැනි තත්වයකට මුහුණ දෙනු ලැබුවහොත්, ඔබ එයට පිළියම් සෙවිය යුතු වන්නේ නීති මඟිනි.

ශ්‍රී ලංකාව තුල පවතින නීතිමය තත්වයට අනුව 1995 අංක 22 දරණ දණ්ඩ නීති සංග්‍රහයේ ( සංශෝධන ) පනතේ 345 වගන්තිය යටතේ පැහැදිලිව සඳහන් කර ඇති ආකාරයට යම් පුද්ගලයෙකුට වචනයකින්, ක්‍රියාවකින් හෝ ඉඟියකින් ලිංගික හිංසනයක් සිදුකිරීම වරදක් ලෙසයි දක්වා ඇත්තේ. මේ පනත යටතේ යම් කිසිවකුගේ නිරුවත් හෝ අඩනිරුවත් ජායාරුපයක් අන්තර්ජාලයට නිකුත් කිරීම එම පුද්ගලයාට ලිංගික හිංසනයක් සිදු කිරීමක් ලෙස පැහැදිලිව දක්වා තිබේ. ඒ අනුව එය දැඩි දඬුවම් ලැබිය හැකි වරදක් වේ.

මිට අමතරව අප මුලින් සඳහන් කල 2017 අංක 24 දරණ පරිඝනක අපරාධ වැළැක්වීමේ පනත ඔස්සේ ද අන්තර්ජාලය සහ විශේෂයෙන් ම සමාජ මාධ්‍ය ජාලයන් හරහා සිදුකරන නිරුවත් ජායාරුපයක් හෝ වීඩියෝ ප්‍රචාරය කිරීමට විරුද්ධව නඩු පැවරීමේ හැකියාව පවතියි.

යම් පුද්ගලයෙකු විසින් වෙනත් පුද්ගලයෙකුට හිංසනයක් කිරීම උදෙසා මෙබඳු ජායාරුපයක් හෝ වීඩියෝවක් නිකුත් කර ඇත්නම් 1995 අංක 22 දණ්ඩ නීති සංග්‍රහයේ ( සංශෝධන ) පනතේ 345 ලිංගික හිංසනයක් සිදු කිරීම චෝදනාව යටතේ එම පුද්ගලයාට එරෙහි වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමේ හැකියාව පොලිසියට ඇත.

මෙබඳු සැකකරුවකු අත්අඩංගුවට ගත විට පොලිසියෙ දී දෙපාර්ශවය අතර සාමදානයක් ඇති කරගැනීමට ඉඩ සලස්වා එම ගැටළුව සමතයකට පත් කිරීම කිසි ලෙසකින් සිදු නොකරයි. මෙබඳු අපරාධ චුදිතයන් අනිවාර්යයෙන්ම මහේස්ත්‍රාත් අධිකරණයකට ඉදිරිපත් කල යුතුය. මෙබඳු අපරාධයකට වරදකරු වුවහොත් අනිවාර්යයෙන්ම ඔහු වසර පහක් දක්වා කාලයක් සිරගත කරනු ලබයි.

එසේම මෙබඳු තත්වයකට මුහුණ පෑමට සිදුවුවහොත්, එබඳු පුද්ගලයන්ට නීතියේ පිළිසරණ ලබාගත හැකිබව ඔබට පැහැදිලි ඇති. එසේම මෙබඳු වරදක් සිදු කල පුද්ගලයෙකුට කිසි ලෙසකින් නීතියෙන් ගැලවීමක් නම් නොලැබේ.

ඔබේ ජීවිතය ඔබට ලැබී ඇත්තේ ජීවත්වීම සඳහාම වේ. එබැවින් ඕනෑම තත්වයකට මුහුණ දුන් පසු වඩාත් ශක්තිමත්ව ජිවිතයට මුහුණ දීමට තරම් ඔබ බුද්ධිමත් විය යුතුය. ඔබ ජීවිතය නැති කර ගත හොත් වරදකරුවන්ට දඬුවම් දීමට නිතිය ඉදිරියට යන්නේ කවුරුන්ද? එබැවින් ඔබ ජීවත්විය යුතුමය. වරදකරුවාට දඬුවම් කිරීම නිතිය විසින් අනිවාර්යයෙන්ම සිදු කරනු ඇත.

එසේම ආදරණිය යුවතියනි, ඔබ මේ කරුණ ද හොඳින් මතකයේ රඳවාගත යුතුය. ඔබ පාරිශුද්ධය. අතිශයින්ම පාරිශුද්ධය. කන්නගි නම් කත දේවත්වයට පත් වුයේ අගේ පතිවතේ බල මහිමයෙන් පමණක්ම නොවේ. ඇය යුවතියක සිටි සමයේ දී දිවි හිමියෙන් කුමාරි බඹසර ද රැක ගත් බැවිණි. එබැවින් ඔබ විසින්ම ඔබේ ජීවිතය තුල සිමා බන්ධන සලකුණු කරගන්නේ නම්, එයම ඔබේ ආරක්ෂාව වනු ඇත.

 

නීතිඥ සජීවනී අබේකෝන්, LL.B. (කොළඹ විශ්වවිද්‍යාලය )

Popular Articles