Friday, April 19, 2024

Top 5 This Week

Related Posts

මඟ වරද්ද ගන්න කලියෙන් පාර පෙන්නන්න ගෙදරින්

පහන් දැල්ලකට ආදරේ කරන්න පටන් ගත්තු පළගැටියෙක් ඒ මත්තෙ ම හැපිලා හැපිලා, දැවිලා පිච්චිලා අළු වෙලා යනකම්ම ඒ ආදරේ හිතින් අත් හරින්නනම් ලෑස්ති නෑ. ගෑනු ළමයිනුත් සමහර වෙලාවට අන්න ඒ වගේ…මොනවහරි දෙයක් ජීවිතේට ළං කරගන්න ඕනෙයි කියලා හිතුනොත් ඒ දේ තමන්ගෙ ජීවිතේට ගැළපෙනවද නැද්ද? හානිදායකද? අතුරු ප්‍රතිඵල තියෙනවද? මොනම දෙයක්වත් හිතන්නෙ නෑ…ඒ දේ ලබාගන්න මහ ගොඩක් දේවල් කරනවා. දරුණු වෙනවා…මුරණ්ඩු වෙනවා…හිතු මනාපෙට වැඩ කරනවා. නොහොඹිනාකම් කරනවා…හැමදේමත් කරලා හරි ගියේ නැත්නම් ඔන්න ඉතින් අන්තිමේට අවි අමෝරා ගන්නවා..මං කිව්වෙ ගෑනුන්ගෙ ආවේණික ආයුධේ වුණු කඳුළු ගැන. මේ කියන කතා හැමෝටම අදාළ නැති වෙන්න පුළුවන්. ඒත් බහුතරයකට අදාළයි.
කොයි දේ කොහොම වුණත් තමන් ආදරේ කරන දෙයක් වෙනුවෙන් සටන් කරන්න ගෑනියෙක්ට තියෙන ශක්තිය නම් අසමසමයි. ආයෙ ඒ ගැන කතා දෙකක් නෑ. තොටිල්ල පදවන අත ලොව පාලනය කරයි කියන්නෙ බොරුවටද?
ගෑනියෙක් කියන්නෙ ම මහ අමුතු ජීවියෙක්. වෙලාවකට අහිංසකයි, මෘදුයි, නම්‍යශීලියි, කීකරුයි, අව්‍යාජයි, බොළඳයි, ආදරණීයයි. හරියට නෙළුම් පතකට වැටුණු පිනි පොදක් වගේ පිවිතුරුයි. තව වෙලාවකට රළුයි, මුරණ්ඩුයි, අකීකරුයි, අකුණක් වගේ සැරයි…සුළිසුළඟක් වගේ චණ්ඩයි. ආදරේ කරන්න ගත්තම ගෑනියෙක් තරම් සුන්දර ජීවියෙකුත් වෛර කරන්න ගත්තම ගෑනියෙක් තරම් බිහිසුණු ජීවියෙකුත් මිහිපිට කිසිම අස්සක මුල්ලක තවත් නම් නැතුව ඇති.
ඒ දේවල් කොහොම වුණත් මේ වෛවාරණ ලෝකෙ කුඩුකේඩු සමාජ රටාව ඇතුළෙ ගෑනු දරුවෙක්ට මගවරදින්න තියෙන ඉඩකඩ නම් බොහොම වැඩියි.

කොට සායක්, හිර ඇඳුමක් දැක්කම හැඟීම් අවුස්සගෙන සැහැසි වෙන සල්ලාලයො අතරෙ, සමහර සමහර දේවල් රැකගෙන පරිස්සම් කරගෙන ජීවිතේ ඉස්සරහට අරන් යනවා කියන්නෙ ම කෙල්ලෙක්ට මහ අභියෝගයක්….මල් විතරක් ම නෙවෙයි කැකුළුත් වනසන මිලේච්ඡ සමාජෙක පරිස්සමට ඉහ ගහගෙන… ඇඟ බේරගෙන ඉන්න නම් ගෑනු දරුවෙක් දැනකියාගෙන ඉන්න ඕනෙ දේවල් මහ ගොඩක් තියෙනවා. ගෑනියෙක්ට මගනොමග තෝරබේරගෙන ජීවිතේ ඉස්සරහට යන විදිහ කියලා දෙන්න වැඩියෙන් ම සුදුසු කෙනෙක් ඉන්නවා නම් ඒ තමයි අම්මා කියන උත්තරීතර ගෑනු රූපෙ. හැරෙන පරක්කුවට දුවෙක්ගෙ සිතුවිලි, අදහස්උදහස්, ප්‍රශ්නකරදර තේරුම් ගන්න පුළුවන් ආදරණීය අම්මා කෙනෙක්ට විතරයි. ඒ වගේ ම දුවෙක්ගෙ හැම ප්‍රශ්නෙකට ම උත්තර හොයන්නත් ජීවිතේ ගැන මහගොඩක් දේවල් කියලා දෙන්නත් අම්මා කෙනෙක් තරම් දක්ෂ කෙනෙක් තවත් නෑ. හැම දුවෙක් ම කාගෙහරි අම්මා කෙනෙක් නොවෙන්න පුළුවන්. ඒත් හැම අම්මා කෙනෙක් ම කාගෙහරි දුවෙක්. අම්මයි දුවයි අතර තියෙන සම්බන්ධෙ බොහොම ශක්තිමත් වගේ ම ආදරණීය එකක්. නෑ. හරියට ම කියනවා නම් අම්මයි දුවයි අතර තියෙන්න ඕනෙ අන්න ඒ වගේ සම්බන්ධයක්… ඒත් ගොඩක් අම්මලා දුවලා අතර ඒ වගේ සම්බන්ධයක් නෑ.
දේපල මිලමුදල්, ප්‍රසිද්ධිය, බලය පස්සෙ හති වැටීගෙන දුවන්න පුරුදු වුණු අපිට අපේ ආදරණීයයන් ව විතරක් නෙවෙයි අපිවත් මගහැරිලා. බැඳීම් රකින්න මහන්සිගන්න අපිට වෙලාවක් නෑ. අපේ ම අය වෙනුවෙන් කැපවෙන්න වුවමනාවක් නෑ. අපි හැමෝගෙ ම ජීවිතවල දැන් ඊට වඩා දේවල් තියෙනවා.

කොටට, හිරට, තදට ඇඳලා ටිකක් සෙක්සි විදිහට පේන්න ඉන්නෙ කොහොමද? රටේ නැති ජාති උලලා උලලා පොත්ත සුදු කරගන්නෙ කොහොමද? ලතාවට පැද්දි පැද්දි ගිහින් වටේපිටේ මිනිස්සුගේ ආකර්ෂණේ දිනාගන්නෙ කොහොමද? තාලෙට ඇදලාපැදලා සීනිබෝල වචන ටිකක් හුරතලේට වීසි කරලා ටියුෂන් පංතියේ කොල්ලො ටික අල්ල ගන්නෙ කොහොමද? එහෙමත් නැත්නම් ඔෆිස් එකේ මිනිස්සු ටික අල්ල ගන්නෙ කොහොමද? ඔන්න ඕවා තමයි දැන් දුවලගේ ඔළුවල තියෙන්නෙ. දුවලගෙයි කිව්වට ඉතිං සමහර අම්මලත් ඊට දෙවෙනි නෑ. ඒ අයට දුවලා ඉන්න විත්තියක්වත් මතක නෑ.
අම්මලා ගත්තම නම් ඉතිං තව වැඩ තියෙනවා. සමාජ සේවා කටයුතු එහෙම සමහරු ඔළුව උඩ තියාගෙන කරන්නෙ සමාජෙට තියෙන ආදරේකට එහෙම නෙවෙයි ප්‍රසිද්ධිය වගේ ම පෞද්ගලික වාසි බලාගෙන. සමහරු කාන්තා සමිතිවලට බැඳිලා කාන්තා විමුක්තිය හොයාගෙන පාරක් පාරක් ගානෙ යනකොට දන්නෙ ම නැතුව ගෙදර යුතුකම් මගහැරිලා. සැමියා වෙනතක ගිහිල්ලා… දරුවො නොමග ගිහිල්ලා.
උජාරුවට ඇඳලා, ලස්සනට සායම් උලාගෙන පාරට බැස්සට වැඩක් නෑ ඇතුළ හිස් නම්… ඇඳුම පැළඳුම, කතාබහ කරන විදිහ, හැසිරීම මේ හැම දේකින් ම මිනිස්සු ගෑනියෙක්ගෙ ඇතුළාන්තය මැන ගන්නවා. පිරිමියෙක් මෙල්ල කරන්න ගෑනියෙක්ට තියෙන්නෙ හරි අපූරු හැකියාවක්…ඒත් හැමෝම ඒකෙන් ප්‍රයෝජන ගන්නෙ නෑ වගේ ම ගොඩ දෙනෙක් දන්නෙ නෑ තමන් ඇතුළෙ හැංගිලා තියෙන ඒ හැකියාව ගැන. ගෑනුන්ට වැරදි යෝජනා අරන් එන, වැරදි විදිහට හැසිරෙන්න උත්සාහ කරන ගොඩක් පිරිමි එහෙම කරන්නෙ ගෑනුන්ගෙ ම තියෙන සමහර වැරදි නැත්නම් දුර්වල තැන් නිසා. සමහර ගෑනු උදවියට අයුතු යෝජනාවක් කරන්න මිනිහෙක් දෙපාරක් නොහිතන්නත් ඒ වගේ ම තව සමහර ගෑනු උදවිය දිහා වැරදි ඇහැකින් බලන්නවත් මිනිහෙක් බය වෙන්නත් හේතුවක් තියෙනවා. ඒ ගැනත් ටිකක් හිතලාබලන එක වටිනවා.

අල්ලාගෙන නෙරිය අතකින් කිම්ද නගෝ
වසාගෙන දෙතන අතකින් කිම්ද නගෝ
සැමියෙක් නැතිව නුඹ තනි මඟ කිම්ද නගෝ
අම්බලමේ නැවතී අපි යමුද නගෝ

අම්බලමක් ළඟින් රෑබෝවෙලා තනියම යන ගෑනු කෙනෙක් දැකපු පිරිමියෙක් හැඟීම් අවුස්සගෙන කරපු යෝජනාවකට ඒ ගෑනු කෙනා ඔළුව කල්පනා කරලා පිරිමියාගෙ හිත රිද්දන්නෙත් නැතුව තමන්ගෙ ආරක්ෂාව වෙනුවෙන් දුන්න නියම උත්තරයක් ගැන අපේ ජනකවියෙ මෙහෙම සඳහන් වෙනවා.

අල්ලාගෙන නෙරිය මඩ තැවරෙන හන්දා
වසාගෙන දෙතන බිළිඳුගෙ කිරි හන්දා
බාල මස්සිනා පස්සෙන් එන හන්දා
යන්නම් අයියණ්ඩි ගම රට දුර හන්දා

කොහොම වුණත් අන්න ඒ විදිහට තැනට ගැලපෙන විදිහට හැසිරෙන්නයි කතාබහ කරන්නයි දන්නවා නම් ඉදිරියෙදි මූණදෙන්න වෙන ගොඩක් ප්‍රශ්නවලින් බේරිලා ඉන්න ගෑනියෙක්ට පුළුවන්. ඒ වගේ ම විශ්වාස කරන්න පුළුවන්, හදවතට ළඟින් ඉන්න කෙනෙක් එක්ක, තමන්ට තනියම විසඳුම් හොයාගන්න බැරි ප්‍රශ්න කරදර සේරම විවෘතව කතා කරන්න පුරුදු වෙනවා නම් ඒකත් ගොඩක් වටිනවා. මොකද හිතේ හිරකරන් ඉන්න ප්‍රශ්නත් බෙහෙත් නොදාපු තුවාල වගේ උඩු දුවනවා. ඉතිං අම්මා කෙනෙක් තමන්ගෙ දුවගෙ හිතට ළඟින් ඉන්නවා නම්… හැමදේම විවෘතව කතා කරන්න පුළුවන් විදිහට විශ්වාසවන්තව ඉන්නවා නම්… යාළුවෙක් වගේ සමීප වෙනවා නම්… දුවට ජීවිතේ ගැන කියලා දෙන්න තමන්ගෙ වටිනා කාලෙන් සැලකිය යුතු ප්‍රමාණයක් වෙන් කරනවා නම්… දුවෙක් සමාජෙට පය තියන්නෙ ම ජීවිතේ ගැන දැනගෙන, සමාජෙ ගැන අවබෝධෙන්. එහෙම දුවලට වරදින්න තියෙන ඉඩකඩ අඩුයි. ඉතිං අපි පටන් ගන්න ඕනෙ ගෙදරින්. ගෙදරින්ම මගනොමග දැනගෙන එන ගෑනු දරුවො සමාජෙ ඇතුළෙ අසරණ වෙන්නෙ නෑ. මග වරද්ද ගන්නෙත් නෑ.

මිහිරි කාංචනා

Popular Articles