“වේල්සයේ රෝස කුසුම” විදියට හඳුන්වන ඩයනා කුමරිය මිය ගිහින් හරියට ම අද දිනට අවුරුදු 22ක් සම්පූර්ණ ‌වෙනවා. තමන්ගේ පෙම්වතා වුණු ඩොඩී අල්ෆයඩ් එක්ක පැරිස් නගරයේ උමං මාර්ගයක ගමන් ගනිමින් ඉද්දී වෙච්ච අභිරහස් රිය අනතුර ගැන ගොඩක් දෙනා නොයෙක් මත පළකරනවා. සමහරු කියන විදියට මේක රජ පවුලෙන් කරවපු අනතුරක්. තවත් කට්ටියක් කියන්නේ මේක ඩොඩී අල්ෆයඩ්ගේ පවුලෙන් කරවපු දෙයක් කියලයි. ඒ කොහොම වුණත්, ජීවත් වෙලා ඉඳපු කාලය ඇතුළත ප්‍රශ්න ගොඩකට ඇයට මුහුණ දෙන්න වුණු බව හැමෝම වගේ දැනගෙන හිටියා.

එංගලන්තයේ විතරක් නෙවෙයි, මුළු ලෝකයේ ම අවධානය දිනාගත්ත සුප්‍රසිද්ධ කාන්තාවක් වුණත්, ඇගේ ජීවිතය ගැන අප්‍රකට කතා බොහොමයක් තියෙනවා. අපි අද කතා කරන්නේ අන්න ඒ වගේ කාරණා කීපයක් ගැන.

අවුරුදු 9ක් ගෙදර ඉඳපු ඩයනා

ඩයනා ස්පෙන්සර් ඉපදුණේ 1961 අවුරුද්දේ. අර්ල්වරයෙක්ගේ තුන්වැනි දියණිය විදියට ඉපදුණු ඩයනා පොඩි කාලේ ඉඳල ම ගත කළේ සැප පහසු ජීවිතයක්. ඒ කාලේ ඉහළ සමාජ පන්තියේ පවුල්වල ළමයින්ට උගන්වන්න ගෙදරට ගුරුවරයෙක් ගෙන්වීම සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා තිබුණා. ඒ නිසා ම, ඩයනාත් අවුරුදු 9ක් වෙනතුරු ඉගෙනගත්තේ ගෙදර ඉඳලයි. හැබැයි ඇගේ අම්මගෙත් තාත්තගෙත් දික්කසාදයෙන් පස්සේ ඇය රිඩ්ල්ස්වර්ත් හෝල් පාසලට ඇතුළත් කෙරුණා. අවුරුදු 12 ලබනවත් එක්ක ම වගේ බෝඩිම් ඉස්කෝලෙකට ඇතුළුවෙන්න ඇයට සිද්ධ වුණා.

වාර්තාවල සඳහන් වෙන විදියට ඩයනා කියන්නේ ඉගෙනීමට ඒ තරම් දක්ෂතාවක් දක්වපු කෙනෙක් නෙවෙයි. අවුරුදු දාසයෙදී තමන් ඉඳපු බෝඩිම් ඉස්කෝලේ අතහැරලා ඇය නැවතත් ගෙදර එන්නේ ඒ නිසයි. ඇගේ තාත්තා ඇයව ස්වීඩනයේ ඉස්කෝලෙකට ඇතුළත් කරත්, ඒ ගැන ඇය දැක්වුවේ අකමැත්තක්.

ඩයනා බාලාංශ පාසල් ගුරුවරියක්

ස්වීඩනයේ ඉස්කෝලෙන් අධ්‍යාපනය හදාරලා ඉවර වුණාට පස්සේ, ඩයනා නැනී කෙනෙක් විදියට කාලයක් රැකියාව කළා. ඊට ටික කාලෙකට පස්සේ ඇයට “යංග් ඉංග්ලන්ඩ් ස්කූල්” නම් පාසලක බාලාංශ ගුරුවරියක් විදියට පත්වීමක් ලැබුණා.

ඕනේ වුණේ බැලරිනා කෙනෙක් වෙන්න

ඩයනා පොඩි කාලේ ඉඳන් ම නර්තනයට, විශේෂයෙන් ම බැලේ නැටුම්වලට ආස කරපු කෙනෙක්. ඉස්කෝලේ යන කාලේදීත් බැලේ නර්තනය හදාරපු ඇයගේ අනාගත බලාපොරොත්තුව වෙලා තියෙන්නෙත් ඒ අංශයෙන් ඉස්සරහට යන්නයි. තමන්ගේ ඒ හීනය හැබෑකරගන්න බැරි වුණත්, ඒ සම්බන්ධයෙන් ඇයට තිබුණු ආසාව නැතිවෙලා නැහැ. එංගලන්ත ජාතික බැලේ කණ්ඩායමේ අනුග්‍රාහකයෙක් විදියට ඇය කටයුතු කළෙත් ඒ නිසාමයි.

සාරා ස්පෙන්සර් සහ චාල්ස්

චාල්ස් එක්ක විවාහ වුණේ ඩයනා බව ඇත්ත. ඒත් චාල්ස් කුමාරයා මුලින් යාළුවෙලා හිටියේ ඩයනාගේ වැඩිමහල් සහෝදරිය එක්කයි. ඇය සාරා ස්පෙන්සර්. ඩයනාට මුලින් ම චාල්ස් කුමාරයාව මුණගැහිලා තියෙන්නෙත් ගෙදර තිබුණු පාටියකට ඔහුවත් එක්කරගෙන සාරා ආව වෙලාවක. හැබැයි චාල්ස් කුමාරයාව ළඟින් ආශ්‍රය කරන්න ඩයනා පටන්ගෙන තියෙන්නේ ඒ මුණගැහීමෙන් අවුරුදු තුනකට වගේ පස්සේ.

රජ පවුලට වැඩකරපු ආච්චි

රූත් ෆමෝයි හෙවත් ඩයනාගේ මිත්තනියට රජ පවුලත් එක්ක තිබුණේ කිට්ටු යහලුකමක්. ඒ අවුරුදු 40ක් තිස්සේ එලිසබෙත් රැජින ළඟ වැඩකරපු නිසයි. චාල්ස් – ඩයනා විවාහය සිද්ධ වෙන්න මේ සම්බන්ධතාවයත් හේතු වෙන්න ඇතියි කියලා හුඟක් දෙනා විශ්වාස කරනවා.

කඩෙන් ගත්ත මඟුල් මුද්ද

රාජකීය මංගල්‍යයක් කියන්නේ ලෝකයක් බලාගෙන ඉන්න දෙයක්නේ. 1981 අවුරුද්දේ තිබුණු ඩයනා, චාල්ස් මඟුල් උත්සවයත් ඒ වගේ එකක්. ඉතින් ඕවයේ තියෙන හැම පොඩි දෙයක් ගැන ම මිනිස්සු අවධානය යොමු කරනවා.

සාමාන්‍යයෙන් රාජකීය මංගලෝත්සවවලදී ඔය මඟුල් මුදු එහෙම කඩෙන් ගන්න සිරිතක් නැහැ. ආභරණ විශේෂඥයෝ ගෙන්නලා, තමන්ට ඕනේ මුද්දේ හැඩේ කියලා තමයි ඒවා හදවන්නේ ( custom-made මුදු). ඒත් ඩයනා තමන්ගේ මුද්ද ඇණවුම් කළේ Garrard ආභරණ නිපදවන්නන්ගේ කැටලොග් එකකින්. පවුම් 30 000ක් වෙන මේ මුද්දේ කැරට් 12ක නිල දියමන්තියක් අඩංගු වෙනවා. මේ දියමන්තිය ලංකාවෙන් ගත්තු එකක්. අද මේ මුද්ද පැළඳගෙන ඉන්නේ ඇගේ ලේලිය වන කේට් කුමාරිකාවයි.

අකීකරු රාජ කුමාරිය

රාජකීය මංගලෝත්සවවලදී වෙන විශේෂ සිරිත් කීපයක් තියෙනවා. “තමන්ගේ ස්වාමියාට හැමදෙකදී ම අවනත වෙනවා” ය කියලා හැමෝම ඉදිරියේ පොරොන්දුවක් වීම මේ අතරින් එකක්. හැබැයි චාල්ස් කුමාරයා ඉදිරියේ මේ ප්‍රතිඥාව දීම ඩයනා කුමරිය ප්‍රතික්ෂේප කළා. අවුරුදු තිහකට පස්සේ තමන්ගේ නැන්දම්මාගේ අඩි පාරේ යන්න කේට් කුමාරිකාව හිතුවෙත් ඒ නිසා ම වෙන්න ඇති. ඇයගේත් විලියම් කුමාරයාගේත් මංගල උත්සවයේදී මේ චාරිත්‍රය ඉෂ්ට වුණේ නැහැ.

ඩයනා – චාල්ස් සහ කැමිලා

ඩයනා – චාල්ස් විවාහය වුණේ 1981දී. කැමිලා පාකර් නම් තරුණියක් සමඟ චාල්ස්ගේ අනියම් සම්බන්ධතාවයක් තිබුණු බව ඩයනා ඒ වෙද්දීත් දැනගෙන හිටියා. මංගල උත්සවයෙන් පස්සේ නව යුවළ සහභාගී වෙච්ච පළමුවෙනි භෝජන සංග්‍රහයට චාල්ස් කුමාරයා පැළඳගෙන හිටියේ “CC” අකුරු දෙක ඇති කෆ්ලින්ක්ස්. චාල්ස් – කැමිලා කියන නම් දෙක පෙන්නුම් කෙරෙන විදියට හදපු මේ කෆ්ලින්ක්ස් ඔහුට තෑගි ලැබිලා තිබුණේ කැමිලාගෙන්මයි. මේ ගැන කේන්ති ගත්ත ඩයනා කුමරිය, එදා දවසේ චාල්ස් කුමාරයාගේ ඇඳුම ලෑස්ති කරපු පුද්ගලයාව රස්සාවෙන් අයින් කරපු බවත් සඳහන් වෙනවා.

ඇඳුම් වෙන්දේසිය

ඩයනා කුමරිය මියයන්න හරියට ම මාස දෙකකට කලින් අපූරු ඇඳුම් වෙන්දේසියක් සිද්ධ වුණා. ඇගේ ඇඳුම් 79ක් මේ විදියට වෙන්දේසි වුණේ ඩොලර් මිලියන 5.6ක මුදලකට. මේ මුදල් සේරම ඇය ඒඩ්ස් සහ පියයුරු පිළිකා සම්බන්ධව කටයුතු කරන ආයතනවලට පරිත්‍යාග කරලා තිබුණා.

දූපතේ සුසාන භූමිය

1997 අවුරුද්දේ වෙච්ච ඩයනා කුමරියගේ මරණයෙන් පස්සේ ඇයව වළලන්න තීරණය වුණේ ස්පෙන්සර් පවුලේ සුසාන භූමියෙයි. මේක ඇත්තට ම ස්පෙන්සර් පවුලේ අය ආ ගිය පල්ලිය ඇතුළේ හදලා තිබුණු ගර්භයක්. ඒත් ආරක්ෂක හේතු නිසා ඇයව මිහිදන් කෙරුණේ ඔල්තෝප් පාක් එකෙයි. ස්පෙන්සර් පවුලේ ගෙදර පිහිටලා තිබුණු මේ බිම ඕවල් විල මැද තියෙන දූපතක්.

රජ පවුලේ සාමාජිකාවක් වුණත්, ඒකෙන් ඔළුව උදුම්මා නොගෙන සරල ජීවිතයක් ගත කරන්න ඩයනා කුමරිය පුරුදු වෙලා හිටියා. චාල්ස් කුමාරයාගෙන් වෙන් වුණත්, අම්මා කෙනෙක් විදියට තමන්ගේ දරුවන්ට වෙන්න ඕනේ යුතුකම් කරන්නත් ඇය අමතක කළේ නැහැ. අසරණ සරණ ආයතන සීයකට විතර ඇගේ පරිත්‍යාගය ලැබිලා තිබුණලු. රජ පවුලක කෙනෙක්ගෙන් දැකගන්න නොලැබෙන විදියේ අමුතු ගතිගුණ තිබුණු මේ කුමාරිකාවගේ මරණය ගැන අදටත් එංගලන්ත වැසියන් දුක් වෙන්නේ ඒ නිසා ම වෙන්න ඇති.

සටහන – විශ්වි

“වේල්සයේ රෝස කුසුම” මිලින වී අදට වසර 22යි

පද්මාවත්

බොලිවුඩ් තිරයේ දිග හැරෙන නවතම චිත්‍රපටය පද්මාවත් දීපිකා පදුකෝන් ප්‍රධාන චරිතය ලෙස රාණි පද්මාවතී නිරූපණය ශාහිද් කපූර් මහරාවල් රතන් සිං, රන්වීර් සිං මෙහි රංගනයෙන්...

ජීවිතේ තිත්ත වෙලා තියන ඔයාටයි මේ

ප්‍රශ්න කරදර වැඩි වෙනකොට, දරාගැනීමේ සියලු සීමාවන් ඉක්මවා යනකොට, ආත්ම ශක්තිය බිංදුවට ම වැටෙනකොට මට වගේ ම ඔයාටත් එක ම එක වතාවක් හරි හිතිලා...

වයස අවුරුදු 100දී පවා ක්‍රියාශීලිව සාරි තමා අතින්ම පින්තාරු කරන පද්මාවතී ආච්චි

අවුරුදු 100ක වැඩිහිටියෙකු සමඟ කතා කිරීමට ඔබට අවස්ථාව ලැබෙන්නේ සෑම දිනකම නොවේ! 1920 උපන් පද්මාවතී (පද්මම්) නායර් ජිවන මන්ත්‍රය වන්නේ “කාර්යබහුලව සිටින්න සහ අනුන්ගේ...

2023 දී, අපට කාන්තාවන් මුහුණ දෙන මෙම අභියෝග යෙන් මිදිය හැකිද?

ආරක්ෂාව නොමැතිකමඅපේ සමාජයේ කාන්තාවන්ගේ ලොකුම ගැටළුව ආරක්ෂාවයි. නිවසේ හෝ ප්‍රසිද්ධියේ වේවා කාන්තාවන්ට කිසිදා ආරක්ෂාවක් නැත. ඔවුන් නාඳුනන අයගෙන් පමණක් නොව ඔවුන් දන්නා හඳුනන පුද්ගලයින්ගෙන්...

ඩොල්ෆින් බලන්න කල්පිටියට යමු

  කොළඹ පුත්තලම මාර්ගයේ 170km පමණ දුරනික් සුන්දර කල්පිටිය වෙරල තිරය පිහිටා තිබෙනවා. පටු වෙරළ තීරයකින් සමන්විත කල්පිටිය කිලෝමීටර් 100ක් පමණ දිගින් යුක්තයි. කලපුවාසී ඩොල්ෆින්...

සාම්ප්‍රදායික ඔසරි විලාසිතාව වෙනස් කරන්න එපා

විලාසිතා පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. වයස, අත්දැකීම්, පාරම්පරික උරුමය, අනුව ව්දිහිටි හා යොවුන් පරපුර විලාසිත කරන අකාරය වෙනස් වේ. නමුත් සංස්කෘතික වටිනාකමක් ඇති ඇඳුම්...

මේ වගේ පොලිසියක් ලංකාවෙත් හිටියනම් ?

ඉන්දියාවේ අග නගරය වන දිල්ලියෙහි හිංසාකාරී ලෙස කාන්තා අතවරයන් සිදුවීම අද වන විට විශාල වශයෙන් කතාබහට ලක් වන මාතෘකාවකි. වෛද්‍ය ශිෂ්‍යාවක් බස් රථය තුල...

ගබ්සා කිරීමක් වූ විට දෙන දඬුවම ගැන ඔබ දැනුවත්ද

ද්වි විවාහය හෝ බහු විවාහය - දණ්ඩ නීති සංග්‍රහයේ 362 වගන්තිය වරක් විවාහ වී ඇති පුරුෂයකු හෝ කාන්තාවක තම විවාහය වලංගුව පවතිද්දී සහ තම නිත්‍යානුකුල...

ලිංගිකව එක්වීමට ඇති අකමැත්ත සැකයට මුලික හේතුවේද ?

දෙන්නෙක් අතර විවාහ සම්බන්ධතාවක් ඇති වන්නේ දෙදෙනා අතර ජිවිත කාලය තුල දැඩි බැඳීමක්, විශ්වාසයක් සහ එකඟතාවයක් ඇතිව ජිවත් වීමේ අරමුණින්. නමුත් දැන් සමාජයේ බොහෝ...