අපේ රටේ වර්තමාන සමස්ත ජනගහණයෙන් කාන්තා ප්‍රතිශතය 50% ද ඉක්මවයි. කාන්තා අධ්‍යාපනය සහ ශ්‍රම දායකත්වය ද සැලකිය යුතු මට්ටමකින් වැඩි දියුණු වී ඇත. නමුත් “නීති සාක්ෂරතාව”එනම් තමාගේ අයිතීන් ආරක්ෂා කරගැනීමට ගතයුතු නීති ක්‍රියාමාර්ග, යා යුතු ආයතන හා නීතිමය ප්‍රතිකර්ම පිළිබඳව කාන්තාවන්ගේ දැනුවත් භාවය තව දුරටත් වර්නධය විය යුතුව පවතී.
කාන්තා හිංසනය පිළිබඳ නිරන්තර කතාබහක් අප සමාජය තුළ පවතී. නමුත් එක් අතකින් මෙම හිංසනයන්ගෙන් පීඩාවට පත්වන බොහෝ කාන්තාවන් ඒ සඳහා නීතිමය ප්‍රතිකර්ම ලබාගත හැකි බව නොදන්නා අතර, තවත් සමහරු ඒ පිළිබඳව දැනුවත්ව සිටියත් සමාජයීය, සංස්කෘතික, ආර්ථික ගැටළු නිසා ඔවුන්ට එම නීති ප්‍රතිකර්ම ලබා ගැනීමට ඇති අවස්ථාවන්ට බාධා එල්ල වේ.කාන්තාවන්ට සමාන අයිතිවාසිකම් හිමිවිය යුතු බව මෙන්ම ඔවුන් කෙරෙහි විශේෂ රැකවරණයක් සැලසිය හැකි බව ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මුලික අයිතිවාසිකම් පරිච්ජේදයෙන් පිළිගෙන ඇත. මේ අනුව අධ්‍යාපනය, රැකියා මෙන්ම අනෙකුත් සියලු අවස්ථා කෙරෙහි සමානව ප්‍රවේශ වීමට සෑම කාන්තාවකටම අයිතිවාසිකම් ඇත.
තමන්ට සිදුවන හා සිදුවිය හැකි මානසික, ශාරීරික, ලිංගික හිංසා පිළිබඳ බියෙන් සිටීමට සිදුවන විට කාන්තාවකට සිය පවුලේ හෝ රැකියාවේ කටයුතු නිසි පරිදි ඉටු කළ නොහැක. එයින් ඇයගේ ඵලදායිතාව රටට අහිමි වේ. එපමණක් නොව කාන්තාවට ඇතිවන පිඩා බොහෝවිට ළමයින් කෙරෙහිද සෘණාත්මක බලපෑමක් ඇතිකිරීමට ඉවහල් වේ. කාන්තා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ ප්‍රතිලාභ අත්වන්නේ කාන්තාවට පමණක් නොවේ. ඵලදායි ආර්ථික සංවර්ධනයකට,ළමයින්ගේ නිසි රැකවරණය සහ සමස්ත සමාජයේම වර්ධනයට කාන්තා අයිතීන් ඉවහල් වේ.
ස්වාමිපුරුෂයගෙන් නඩත්තු ලබාගැනීමට ඇති අයිතිය, ළමයින්ගේ නෛතික භාරකාරකාරත්වය දැරීමට, දේපල දැරීමට හා දික්කසාද දීමනා ලබාගැනීමට ඇති අයිතීන් තහවුරු කිරීමෙහි ලා ඇයට සිවිල් නීති ප්‍රතිකර්ම සඳහා ප්‍රවේශ විය හැක. කාන්තාවන්ට එරෙහිව සිදුවන අපරාධ – එනම් ස්ත්‍රි දුෂණ, ලිංගික අතවර, බරපතල ලිංගික අපයෝජන, ව්‍යහිචාරය, ද්වි විවාහය, කුට්ටනය සහා ගණිකා වෘත්තියේ යෙදවීම වැළැක්වීමට ඇති අපරාධ නීති ක්‍රියාමාර්ග පිළිබඳව සමාජයේ සියලු දෙනා දැනුවත්ව සිටීම වැදගත් වේ.
කෙසේ වෙතත් කාන්තාවනට අදාල සිවිල් හා අපරාධ නීති මුස්ලිම්, උඩරට, තේසවලමේ යන විශේෂ නීති යටතේ පාලනය වන කාන්තාවන්ගේ අයිතිවාසිකම් කෙරෙහි ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක නොවේ.
ඊළඟ ලිපි පෙළින් අපි මේ ගැන කතා කරමු……….
නීතිඥ සජීවනී අබේකෝන්, LL.B. (කොළඹ විශ්වවිද්‍යාලය )