Thursday, March 28, 2024

Top 5 This Week

Related Posts

හිසකෙස් යන එක ඔබටත් ගැටළුවක් ද ? එහෙනම් මෙය අත්හදා බලන්න

හිසකෙස් යන එක බොහෝ අයට තියන ගැටළුවක් ඉතින් අපි අද ඔයාල දැනුවත් කරන්න යන්නේ ඒ ගැනයි.

කාන්තාවන්ගේ සුන්දර පෙනුම සඳහා කෙස් කලඹ මගින් ලැබෙන පිටිවහල වචනයෙන් විස්තර කිරීමත් අපහසු තරම්. කෙස් කලඹ සුන්දර වන්නේ එය නිරෝගී වූ විටයි. නිරෝගි කෙස් කලඹක් ලැබෙන්න නම් තමන්ගේ කෙස්වල ස්වභාවය නිවැරදිව හඳුනාගෙන ඊට ගැලපෙන ප්‍රතිකාර කළ යුතුයි. හිස කෙස්වල එක එක වර්ග තිබෙනවා. සිනිඳු, රළු, කැරලි සහිත, සෘජු ආදී වශයෙන් නොයෙකුත් ආකාරවලට මේවා වර්ග කරන්න පුළුවන්. ආයුර්වේදයේ ප්‍රකෘතිය යනුවෙන් සඳහනක් තිබෙනවා. වාත, කඵ, පිත්ත යන ත්‍රිදෝෂවලට අනුව වාත ප්‍රකෘති, කඵ ප්‍රකෘති, පිත්ත ප්‍රකෘති යනුවෙන් දක්වා ඇති අතර අප ඕනෑම කෙනෙක් මේ ප්‍රකෘති තුනෙන් එකකට අයිතියි. මේ අනුව වාත ප්‍රකෘතිය සහිත අයගේ හිසකෙස් රළු ඝනකම් ස්වභාවයක් ගන්නවා. පිත්ත ප්‍රකෘතියට අයත් වූවන්ගේ අකලට කෙස් සුදුවීම, වැටීම ආදිය බහුලයි. ඒ වගේම පිත්ත ප්‍රකෘතියට අයත් පුද්ගලයන්ගේ හිසකෙස් දුඹුරු පැහැයෙන් යුතුයි. කළු ප්‍රකෘති නම් කළු කැරලි ගැසුණු හිසකෙස් දකින්න පුළුවන්.
මේ ඕනෑම හිසකෙස් වර්ගයක් තීරණය වන්නේ තමන්ගේ ජාන අනුව තමන්ට හිමි ප්‍රකෘතියට අනුකූලවයි.

හිස කෙස් සම්බන්ධයෙන් බලපාන රෝග තත්ත්වයන් රැසක් තිබෙනවා. හිසකෙස් අකලට පැසීම, අධික ලෙස කෙස් හැලීයාම, උඳුගොව්වා කෑම.
උඳුගොව්වා යනු පියවි ඇසට නොපෙනෙන පර‍පෝෂිතයෙක්. මෙයට නිසි ප්‍රතිකාර නොකළොත් හිසකෙස් සියල්ල හැලී තට්ටය පෑදෙන්න පුළුවන්.
මේ හැලෙන කෙස් නැවත හටගන්නේද නෑ, හිසේ සම ඉතාම සියුම් ලෙස හැලීයාම (මෙහිදී කෙස් කැසීම, වැටීම සිදුවන අතර මේ තත්ත්වය හිස්හොරිවලට සමානයි) අහුරු ලෙස හිසකෙස් ගැලවීයාම. (මේ රෝගය ආයුර්වේදයේ හැඳින්වෙන්නේ ඛාලිත්‍ය රෝගය ලෙසිනුයි), ආදී වශයෙන් කෙස්වලට අදාළ තවත් රෝග තත්ත්වයන් රැසක් දක්වන්න පුළුවන්.

හිසකෙස්වලට බහුලව බලපාන රෝග තත්ත්වයන් කිහිපයක් ගැන විශේෂයෙන් අවධානය යොමු කළොත් එහිදී මුල්තැන ලැබෙන්නේ අධික ලෙස කෙස් හැලීයාම සහ අකලට හිසකෙස් පැසීමේ තත්ත්වයටයි.

මෙවැනි ප්‍රතිඵල හටගැනීමට බොහෝ කරුණු හේතු වෙනවා.
අකලට කෙස් පැසීම හා අධික ලෙස කෙස් හැලීයාම යන තත්ත්වයන් දෙකම කාන්තාවකගේ රූසපුව කෙරෙහි විශේෂයෙන් බලපානවා. මේ තත්ත්වයන් දෙක ඇතිවන්නේ විවිධ හේතු රාශියක් නිසයි. මේවා හැකිතාක් වළක්වා ගන්නට නම් ඒ හේතු ගැන දැන ඒවා පාලනය කරගැනීම වැදගත්.
නිතර ශාරීරිකව හා මානසිකව දැනෙන වෙහෙසකාරී බව එනම් මානසික ආතතිය කෙස් අකලට පැසීම හා වැටීම සඳහා බලපාන ප්‍රධාන හේතුවක්. ඒ වගේම ඔබ නිතර කෝපයෙන් ද්වේෂයෙන් හෝ ශෝකයෙන් පසුවන කෙනෙක් නම් මෙවැනි සිතුවිලිද හිසකෙස්වල ඉහත කී තත්ත්වයන් ඇතිවීම සඳහා මුල් වෙනවා.
හිස් හොරිද, කෙස්වැටීම හා පැසීම ඇතිකරවන තවත් රෝගී තත්ත්වයක්. හිස්හොරි ඇතිවීම යනු හිසේ මතුපිට සම දිරාපත් වීමයි. දුම්, දූවිලි ආදී වූ පරිසරයේ විවිධ දූෂිත තත්ත්වයන් හිසේ මතුපිට සම දිරාපත්වීමට ප්‍රබල ලෙසම හේතුවෙනවා. මෙය කෙනෙකුගෙන් තවත් කෙනෙකුට පහසුවෙන්ම බෝ වන අතර එසේ බෝවන්නේ පනා, කොට්ට, තුවා වැනි දෑ හවු‍ලේ භාවිතා කිරීම මගිනුයි.

පීනස් රෝග තත්ත්වයද කෙස් අකලට පැසීම සඳහා බලපාන ප්‍රධාන හේතුවක්
සමහරුන්ගේ වයස තිස් හතළිස් ගණන්වල දී කෙස් බොහෝ සෙයින් පැසී තිබෙනු දකින්න පුළුවන්. ඒ අයගේ දෙමාපියන් ගැන බැලුවොත් මව හෝ පියා මේ ආකාරයට අකලට කෙස් පැසුණු කෙනෙකු බව බොහෝවිටම අනාවරණය කර ගත හැකිවේවි. මේ තත්ත්වය ඇතිවන්නේ එය පරම්පරාවට යාම නිසයි.
වයසට යන විට කෙස් පැසීම සහ ගැලවී යාම ස්වභාවික තත්ත්වයක්. නමුත් ආයුර්වේදයේ රසායන වර්ගවලින් මේ තත්ත්වය ප්‍රමාද කරන්න පුළුවන්. නිතර කෙස් පවිත්‍රව තබාගැනීම. හිසකෙස් අවුල් හැර පීරීම, තෙල් ගැල්වීම වැනි දේවල් මගින් හිසකෙස් පැසීම ප්‍රමාද කළ හැකියි. ඒ වගේම හිසකෙස් අධික ලෙස ගැලවීයාම වළක්වා ගන්නටත් මෙයින් උපකාර ලැබෙනවා.

හිසට තෙල් දමන්න සමහරු කැමති නෑ. නමුත් තෙල් දැමීම තුළින් හිසකෙස් මුලට ශක්තිමත් බවක් ලැබෙනවා. ඒ වගේම දුඹුරු මළානික ස්වභාවය දුරුවී කළු පැහැයක්ද එමගින් හිමිවෙනවා.
තෙල්ගැල්වීමේදී නළලෙන් බේරෙන තරමට තෙල් ගොඩක් ගාන්න වුවමනා නෑ. අත්ලට තෙල් ටිකක් ගෙන අනෙක් අතේ ඇඟිලි තුඩුවලින් හිසේ සමේ ගල්වා හොඳින් සම්බාහනය කිරීමයි තෙල් ගැල්වීමේ නියම ක්‍රමය වන්නේ. ඒ වගේම තෙල් ගැල්විය යුත්තේ උදය කාලයේ මිස රාත්‍රී කාලයට එය සුදුසු නෑ.
දිගු හිසකෙස් තිබෙන අය සවස් යාමයේ නෑම නොසුදුසුයි. ඒ හිසකෙස් නිසි පරිදි වේලෙන්නෙ නැති නිසයි. එවිට පීනස වැනි සෙම්රෝග හටගැනීමේ අවදානම වැඩියි. ඒ වගේම නෑමට සුදුසු උණුවතුර නොවෙයි, ඇල්වතුරයි. උණුවතුර නිසා හිසකෙස්වලට හානි පැමිණෙන්න පුළුවන්.

කෘත්‍රිම ෂැම්පු වර්ගවලින් හිස-කෙස්වලට බලපෑම් ඇතිවෙනවා. එනිසා හිස පිරිසිදු කරන්නට ස්වභාවික දෑ තෝරා ගතහැකි නම් එය වඩාත් සුදුසුයි.
ඒ වගේම හිස්හොරි දුරුවන්නට උළුහාල් දෙහිගැට එකට තම්බා හිස ගැල්වීම හොඳ ප්‍රතිකාරයක්. නමුත් සෙම්රෝග ඇති අයට මේ ප්‍රතිකාරය සුදුසු නෑ. හිස්හොරිවලට තවත් සුදුසු ප්‍රතිකාරයක් වන්නේ කෝමාරිකා කොළය මැද ඇති ජෙලි කොටස ගැල්වීමයි. එසේම වෙරළු කොළ තම්බා හිස සේදීම, ගොඩපර ගෙඩි තම්බා හිස සේදීම තවත් ප්‍රතිකාර ක්‍රම වෙනවා. මේවායින් හිසකෙස් වර්ධනය වීමටත් පිටිවහලක් සැලසෙනවා. නමුත් සෙම් රෝග ඇති අය කෝමාරිකා මදය හිස ගැල්වීම සුදුසු නෑ. මෙය සීතල ගුණයෙන් යුතු නිසා සෙම් රෝග වැඩිවන්න පුළුවන්.

පීනස රෝග ඇත්නම් හිසකෙස් ඉක්මනින් පැසීම සිදුවන බව ඉහතද සඳහන් කළා. මෙහිදී හිසකෙස් පැසීමට පමණක් ප්‍රතිකාර කළාට ඵලක් වන්නේ නෑ. ඊට හේතු වන පීනසට ප්‍රතිකාර කර සුව කරගත යුතුයි. ඉන්පසු හිසකෙස් පැසීම වළක්වන ප්‍රතිකාර කළ හැකියි.
හිස වේලා ගැනීමට හෙයා ඩ්‍රයරය පාවිච්චි කිරීම නුසුදුසුද කියලා සමහරු අපෙන් ප්‍රශ්න කරනවා. හදිසියේ රාත්‍රියේ නාන්නට සිදුවූවිට හෝ හදිසි ගමනක් යාමට සූදානම්වී නෑමට සිදුවූවිට වැනි අත්‍යවශ්‍ය අවස්ථාවන්හිදී හෙයා ඩ්‍රයරය භාවිත කළත් නිතර නිතර හෙයා ඩ්‍රයරයේ තද උණුසුමට හිස ඇල්ලීමේදී හිසකෙස් පලුදුවීමට හැකියාව තිබෙනවා.

අකලට හිසකෙස් පැසීම ගැලවී යාම යන කරුණු දෙක කෙරෙහි අප ගන්නා ආහාර පානත් බලපානවා. හිසකෙස් හටගන්නේ මව්කුසේ සිටියදීයි. ගැබිනි සමයේදී ගන්නා ආහාරපාන දරුවාගේ හිසකෙස් මනාව වර්ධනයවීමට හෝ නොවීමට බලපානවා. එනිසා දරුවාට හොඳ කෙස් කළඹක් අනාගතයේ හිමිවන්නට නම් ඊට මූලික අඩිතාලම දැමීමේ වගකීම මවට පැවරෙනවා. දරුවාගේ හිසකෙස් වර්ධනයවීම සඳහා මව ගතයුතු ආහාර අතර මුකුණුවැන්න, ගොටුකොළ, මොනරකුඩුම්බිය, කතුරු මුරුංගා, කංකුන් වැනි පලා වර්ගත් කලවම් පලා වර්ගත් විශේෂයි.

දිගු කෙස් තිබෙන විට අගින් පැලීමට තිබෙන අවදානම වැඩියි. ඒ නිසා බොහෝ දෙනෙක් කරන්නේ එය අගින් අඟලක් දෙකක් කපා දැමීමයි. නමුත් හිසකෙස් කපා නොදමා තෙල් ගල්වා ඇඟිලි තුඩුවලින් කෙස් අග මසාජ් කිරීම තුළින් කෙස් අග පැළීමේ තත්ත්වය වළක්වා ගන්න පුළුවන්.
‍පෝෂණ ඌනතාවයද කෙස් පැලීම සඳහා හේතු වෙනවා. එනිසා සම්පූර්ණ කෙස් ගසටම ‍පෝෂණය ලබාදිය යුතුයි.
කෙස්වල ‍පෝෂණයට ඉවහල්වන ප්‍රතිකාර කිහිපයක් ගැන මෙහිදී අප මතක් කරනවා. ඒ මෙහෙමයි.
ඵළ නොකරන ලද කළු තල සෝදා වේලා වියළි බෝතලයක දමා තබාගෙන අවශ්‍ය වෙලාවට තේ හැඳි එකක් ගෙන කබ‍ලේ බැද හකුරු සමග දිනපතා ආහාරයට ගන්න.

තිල රසායනය ආයුර්වේද වෛද්‍ය උපදෙස් ඇතිව දිනපතා පාවිච්චි කරන්න.
හිසට තෙල් ගෑම හිසකෙස් පැලීම වැළැක්වීමටද ප්‍රතිඵලදායකයි. නීල්‍යාදි තෛලය, භෘංග මලක තෛලය, ත්‍රිපලා තෛලය, දීවකාන්ති තෛලය, දිව්‍යාංගනාදී තෛලය, පාඨා තෛලය වැනි තෙල් වර්ගයකින් ඔබට වඩාත්ම සුදුසු තෙල් වර්ගය වෛද්‍යවරයෙකු වෙතින් දැනගෙන ගල්වන්න. දිනපතා තෙල් ගැල්වීම තුළින් හිසකෙස් දුර්වර්ණවීම පාලනය කරගත හැකියි. එසේ නොහැකි නම් සතියේ නිවාඩු දිනවලදී නොවරදවාම හිසට තෙල් ගල්වන්න. මෙය ගල්වා පැයකින් පමණ සෝදා හැරිය හැකියි.

නිරෝගිමත් කෙස් කලඹකට අවශ්‍ය ආහාර වන්නේ පලා වර්ග, කොළ කැඳ, කොළපාට එළවළු, පලතුරු ආදියයි. පලතුරු අතරින් නෙල්ලි, වෙරළු, නමිනං වඩාත් සුදුසුයි.
අවසන් වශයෙන් මේ උපදෙස් පිළිපදින්න.
දිනකට තුන් වතාවක්වත් හොඳින් අවුල්හැර හිසකෙස් පීරන්න. එයින් හිසේ සමට ව්‍යායාමයක් ලැබෙනවා.

Popular Articles