මම නෙත්මි. අවුරුදු 18ක දුවෙක් ඉන්න අවුරුදු 40ක අම්මා කෙනෙක්. බිරිඳක් නෙමෙයි. බිරිඳක් වෙලා හිටියද කියන්න නම් මමත් දන්නේ නෑ. අවුරුද්දක් වගේ කාලයක් මහ මන්දිරේක සිරගත වුණා කියන්න නම් පුළුවන්. වතික ස්වාමිපුරුෂයා නොවුණු ස්වාමිපුරුෂයා කසාද සහතිකේට අනුව. මට වතික ගැන හැඟීමක් නෑ. එයාටත් එහෙමයි. හැබැයි මාව බැන්ඳේ ඇයි කියලා මටත් වඩා මගේ ගෙදර අය තේරුම් ගන්න කොට වෙන්න තියෙන හැමදේම වෙලා ඉවරයි. ඉතිං… දුවත් එක්ක ජීවිතය දිනන “මේ මගේ කතාවයි”
දුවගේ යෝජනාව office එකේ අයට කිව්වම හැමෝම කැමති වුණා. කඩල තම්බලා තෙල් දාලා දෙමු කියලා කට්ටිය යෝජනා කළා. පවුල් වල අයත් එකතු කරන් වැඩේ කරන්න හැමෝම කැමති වුණා.
“ඔන්න හැමෝම ඔයාට පින් දෙනවා…” මම රෑ දුව එක්ක විස්තරේ කියන ගමන් කිව්වා.
“ඒ පින් ටිකත් හැමෝටම බෙදලා දෙන්න අම්මා. ඔක්කොම මට වැඩි…” දුව හිනාවෙවී කිව්වා.
“හවස තුනේ ඉඳන් දෙන්න හිතුවේ. කොහොමත් කලින් දවසේ කඩල පෙඟෙන්න දාන්න ඕනෙනේ. වැඩ තියෙනවා හොඳේ….”
“ඔයා බය වෙන්න එපා සුදු චූටියෝ. ඔයාට මං දෙන්නම් නැව ගිලුනත් බෑන් චූන් කෙල්ලෝ සෙට් එකක්….”
“මට ඔක්කොම වැඩ පැත්තක දාලා ඔය කෙල්ලෝ සෙට් එක දිහා බලන් ඉන්න වෙයිද දන්නේ නෑ…”
“අම්මට ඕනේ දන්සැල සරුවට කරන්න නම් අපි වගේ කෙල්ලෝ ඕනේ…” දුව කියපු විදියට මං ඔළුව ඇලකරලා එයා දිහා බැලුවා.
“කඩල බෙදන වැඩේට අපිව දාන්න…විනාඩි පහෙන් ඉවර කරලා දෙන්නම්….” අම්මපා මෙහෙමත් කෙල්ලෙක් හැදිලනේ මට.
“අහ්හ්…marketing ඕන නෑ කඩල දන් සැලට. කන මිනිහෙක් අරන් යයි….”
“ඒක හරි. මම කියන්නෙ වැඩිපුර සෙනඟ එයි අපිව දැක්කම. නොකන එකත් කඩල කයි එදාට….” කෙල්ල නම් ගැලපෙන්නෙම marketing වලට.
“අම්මේ, සුදු ටී ෂර්ට් එකක් මහමු බෞද්ධ කොඩිය එක්ක හරි ධර්මචක්‍රෙ දාලා හරි. අතේ බෑන්ඩ් එකට උඩින් company එකේ logo එක ගහමු. ඒක අන්දමු කට්ටියටම….” මෙයා නම් සෑහෙන දුර හිතලා වගේ.
“ඕක කරන්න වෙලාව මදි කෙල්ල. පොසොන් එකට කරමු ඔය වැඩේ.”
“එහෙනම් සෙට් එකම එක වගේ ටී ෂර්ට් අරන් අඳිමු අනේ…නැත්තන් වැඩක් නෑ….”
“අනේ ළමයෝ…මේක දන්සැලක්….”
“ඒක තමයි මමත් කියන්නේ. දෙන එක දෙන්න ඕනේ නියමෙට…”
“ඔයයි ඔයාගේ යාළුවෝ ටිකයි එක වගේ ඇඳගන්න. මට බෑ මගේ මිනිස්සුන්ට වද දෙන්න….” වාද විවාද ඉවර වුණාම දුව ගියා පාඩම් කරන්න.
ඉරිදා උදේ මං නැඟිටින කොට දුව පේන්න හිටියේ නෑ ඇඳේ. මගේ ඉහමොළ රත්වුණා. මම ඇඳෙන් බැස්සා නෙමේ පැන්නා.
“දුව…අනුකි… පුතා…ඔයා කොහෙද….?” ගේ පුරාම බලලා නැති තැන මම කෑගැහුවා.
මගේ එලියට බැහැලා කෑගහපු කෑගැහිල්ලට අල්ලපු ගෙදර ශිරෝමි දුවන් ආවා.
“ඇයි නෙත්මි….?”
“අනේ දුව නෑ ශිරෝ….”
“අනුකි…? ඇයි අනේ උදේ පාන්දර අපේ ගෙදර ඇවිත් අපේ චූටි පුතාවත් ඇදන් ගියේ බට පතුරු කපන් එන්න….” ශිරෝමි කියද්දි මට කෙල්ලට හොඳ ගුටියක් දෙන්න හිතුනා.
“මම නිදාගෙන හිටියේ අනේ. නිකන් මේ කෙල්ලට කියලා යන්න තිබුණනේ….” මට ඇඟ පණ නැතුව මං එහෙම්ම බිම වාඩි වුණා.
“දුව කිව්වා ඔයා නිදි. නැඟිටින්න කලින් එන්න ඕන කියලා. බයිසිකල් දෙකෙන් ගියේ…”
“අනේ ශිරෝමි මගේ ඇඟම පණ නෑ…” ඇත්තටම මට කලන්තේ වගේ දැනුනා.
“ඔහොම ඉන්න මං වතුර එකක් ගෙන්න…” කියලා ශිරෝමි ගිහින් වතුර එකක් අරන් එද්දි දුව ආවා. මං බිම වැටිලා ඉන්නවා දැකපු කෙල්ල බයිසිකලේ බිම දාලා දුවන් ආවා.
“අම්මා…මේ මොකෝ මේ…?”
“ඔයා නැතුව බය වෙලා….” ශිරෝමි වතුර ටික මට පොවන ගමන් කිව්වා.
දුව කට අඹර අඹර මං දිහා බැලුවා.
“Sorry, අම්මි… මං හිතුවේ නෑ අම්මා නැඟිටියි කියලා. නිදන් හිටිය නිසා ඇහැරෙව්වේ නෑ…” දුව කියද්දි පව් කියලා හිතුනා.
“මොන දේවාලෙක ගියත් කියලා යනවා මීට පස්සේ. මට බෑ මෙහෙම පපුව ගිනි තියාගන්න. තේරුණාද….?” මම අනුකම්පාව පැත්තක තියලා දුවට සැර වුණා.
“අනේ හා අම්මි….” කියලා කෙල්ල මගේ පපුවට පැන්නා.
“ගෙට යන් ළමයි. පාරේ මිනිස්සු දකිනවා. යන් මම මොනවා හරි කන්න හදන් එන්නම්…” ශිරෝමි කිව්වා.
“අනේ එපා ශිරෝ…මම හදන්නම්…” මට ඕන වුණේ නෑ තවත් එයාට වද දෙන්න.
“ඔයාට ඇඟට අමාරුයිනේ නෙත්මි. දුව තේ එකක්වත් බිව්වේ නෑ අම්මා නිදි කියලා. මං තේ හදලා දීලා ගිහින් කන්න හදන් එන්නම්….” කියලා ශිරෝමි අපිට තේත් හදලා උදේට කන්නත් හදන් ආවා.
එදා උදේවරුව මට හීනයක් වගේ. මතක් වෙද්දිත් පපුව රිදෙන්න ගත්තා. දුවට මොනවා හරි වුණා නම් අනේ දෙයියනේ මං කාට කියන්නද…?
ඒකිට කිසි ගාණක් නෑ. ඔක්කොම වැඩ පැත්තක දාලා අල්ලපු ගෙදර චූටි පුතා දිනිඳු එක්ක වෙසක් කූඩු හදන්න ගත්තා. කටත් උල් කරගෙන බට පතුරු කපන හැටි දැක්ක මට හිනාගියා. ඔළුවේ ඉඳන් බට පතුරු කෑලි.
“දෙන්නා එක්ක මොකක්ද දැන් හදන්නේ…?” මං බලන් ඉඳලා ඇහුවා.
“අනුකි අක්කට ඕනේ නෙළුම් මලක් හදන්නලුනේ…” දිනිඳු කිව්වා.
“හදන්න දන්නවද ඉතිං…?” මං ඇහුවා.
“ඇයි අම්මි මට කියලා දුන්නේ…” දුව ඔළුව උස්සන්නෙත් නැතුවම කිව්වා.
“පරිස්සමින් අත් එහෙම. ඕවට කැපෙනවා…” එක සැරයක් කූඩු හදන්න ගිහින් අත කපන් නටපු හැටි මට මතක් වුණ නිසා කිව්වා.
“අමුතුවෙන් කැපෙන්න දෙයක් නෑ. අක්කා උදේම ඇඟිල්ල කපන් ඉන්නේ කකුළෙම. බට ගස් ළඟදි….” දිනිඳු කියද්දි කෙල්ල රැව්වා.
“බොරු අම්මේ….”
“බොරු කොහෙද…? මොණර කුඩුම්බිය තලලා තියන් හිටියේ….” අපේ එක්කෙනා දිනිඳු එක්ක හොර වැඩ කරලා හමාරයි.
“හරි ෂෝක්…ගෙදර ඇවිල්ලවත් බෙහෙත් දාගත්තේ නැද්ද….?”
“කෝපි කොළ ටිකක් කොටලා තිබ්බා. දැන් ඒක හොඳයි අනේ…” surgical spirit එහෙම දැම්මොත් දැවිල්ලනේ. කපටි කෙල්ල.
කෙල්ලයි දිනිඳුයි එකතු වෙලා හරි ලස්සනට කූඩු ටික හැදුවා. කෙල්ල හැදෙන විදිය ගැන සතුටු වෙන්න පුළුවන්. සරුංගල් කාලෙට සරුංගල් හදන් පාර දිගේ දුවන්න, එව්වට නම් උපන් හපනි. හැබැයි ඒ හැම එකම කියලා දුන්නේ මං. කෙල්ලට කොහෙද තාත්තෙක් හිටියේ ඕවා කියලා දෙන්න.
වෙසක් පෝයට කෙල්ල පන්තියේ හැමෝටම වෙසක් කාඩ් දෙනවා. ඒකත් එයාට පුරුදු කළේ මං. මට මතකයි මං පොඩි කාලේ තාත්තා රුපියලේ වෙසක් කාඩ් මිටියක් මට ගෙනත් දෙනවා. ඉතිං මං හැමෝටම කාඩ් දුන්නා. ඒක මම කෙල්ලට පුරුදු කළා. දැන් කෙල්ල ඒක කරනවා. යාළුවන්ට birthday card දෙන්න. පුංචි පුංචි තෑගි දෙන්න. මම කෙල්ලට පුරුදු කළා. ඉඳලා හිටලා මම කෙල්ලගේ යාළුවන්ට කෑම හදලා යවනවා. කෙල්ල පන්තියේ මුදුනෙක් කරන්න නෙමෙයි. ඒත් පොඩි කාලේ ඉඳන්ම බෙදා හදාගන්න රංඩු නොවී සමඟියෙන් ඉන්න ඉරිසියා නොකර කේලම් නොකියා ඉන්න මම දුවට කියලා දුන්නා. කෙල්ල කාටත් උදව් කළා පන්තියේ. ඉගෙන ගන්න බැරි ළමයි හොය හොය දුව උදව් කළා. එයාට වඩා වයසින් බාල ළමයින්ට එයා දන්න දේ කියලා දෙන්න එයා හරි ආසයි. ඒක නිසාම ඉස්කෝලේ පොඩ්ඩෝ එයාට කිව්වේ “ටීච අක්කා” කියලා. හැබැයි ඒ මොනවා කළත් දඟ වැඩ වල ඉවරෙකුත් නෑ. ඉස්කෝලෙන් එන පැමිණිලි වල ඉවරෙකුත් නෑ.
“කෙල්ලෝ ටික නම් දන්සැල විකුණන සයිස් එකක් තියෙන්නේ නෙත්මියෝ…බලහන්කෝ නලව නලව කඩල බෙදන හැටි….” සේයා දන්සැලේ වැඩ කරන ගමන් කිව්වා.
දන්සැල ළඟත් කොල්ලොම කැරකෙනවා. මෙවුන් ටික මොකක් කරයිද මංදා.
“නංඟිලාද කඩල තැම්බුවේ…” කොල්ලො ඉතිං කොල්ලොම තමයි.
“නෑ…මුට්ටියේ දාලා තැම්බුවේ අයියා. වතුරත් දැම්මා…” මගේ කෙල්ල පැනලා කියපි.
හයියෝ සංසාරේ මේ ළමයා නම්.
“හරි රසයි ආ….” එක කොල්ලෙක් කිව්වා.
“බොහොම ස්තූතියි දන්සැලට ආවට. තෙරුවන් සරණයි අයියේ…” කියලා අපේ කෙල්ල අත් දෙක එකතු කළා.
අර කොල්ලා මූණ ඇඹුල් කරන් යද්දි කෙල්ලො ටික හිනාවුණා. පෝය දවසෙත් ගුටි කන වැඩක්මයි කරන්නේ.
“අනේ පව් බන්…උගේ මූණ බෙරි වුණ කඩල ඇටයක් වගේ වුණා….” කෙල්ලෝ ටික කිචි බිචි ගානවා.
“ආයේ උන්දැ ජීවිතේට කඩල කන එකක් නෑ බන්….” මෙහෙව් එකකට මමත් අම්මා වුණානේ.
“කට්ටිය දන්සැලට ඇවිත් තියෙන්නේ පිරිමි ළමයි බයිට් එකට ගන්න වගේ…” කියන් මම කට්ටිය ළඟට ගියා.
“ඉතිං ආන්ටි ඉල්ලන් කනවා නම් නොදී ඉන්න හොඳ නෑනේ…” මගේ එකටම හරියන යාළුවෝ ටික.
“දන්සැල ඉවර වුණාම යන් කට්ටිය රවුමක්…” මම කියද්දි කෙල්ලෝ ටිකට හරි සතුටුයි.
කොහොමහරි දන්සැලේ වැඩ ටික නම් හොඳට කෙරුනා. හිතුවට වඩා කට්ටිය ආවා.
“මේක නම් පට්ට fun වැඩේ….” දන්සැලේ වැඩ ඉවර වෙලා ඉඟුරු ප්ලේන්ටි බොන ගමන් කෙල්ලෝ ටික කතාවෙනවා.
“දන්සැලේ මොකක්ද fun එක…?” මම ඇහුවා.
“ඇයි අම්මා…වේලි වේලි ඉන්න අපිට phone numbersම කීයක් හම්බුණාද…?” කෙල්ල කියද්දි සේයගේ හිනාව පැන්නා.
“මගේ මොකක්….?” මම ඇස් දෙක නළලේ තියන් ඇහුවා.
“ඔන්න හම්බුණ numbers….” කියලා කෙල්ල අතේ ගුලිකරන් හිටිය තුණ්ඩු කෑලි ටික දුන්නා.
මට මතක් වුණේ දහම්ව. දහම්ව මට හම්බුණේ ඇසළ පෙරහැර බලන්න ගිය දවසක. අම්මලයි, රත්නපුරේ ලොකු අම්මලයි එක්ක. Pavement එකේ අපි වාඩිවෙලා හිටිය තැනට එහා පැත්තේ දහම් හිටියේ එයාගේ යාළුවෝ එක්ක. මම A/L කරන කාලේ. දහම් එතකොටත් මට වඩා අවුරුදු 5ක්ම වැඩිමල්. දහම් මොරටුව කැම්පස් එකේ. Fashion Designer කෙනෙක් වෙන්න ඉගෙන ගන්නවා. එයා නිසාම තමයි මමත් ඒ පැත්තට ගියේ. මම A/L වලට කළේ Commerce වුණාට දහම් මට උදව් කළා Fashion Designer කෙනෙක් වෙන්න. දහම් මගේ වුණා නම්…මේ කතාව මීට වඩා ගොඩක් වෙනස් වෙන්න තිබුණා. සමහරවිට මෙහෙම කතාවක් කියන්න නැතිවෙන්නත් තිබුණා.
“අම්මා මොකෝ කල්පනා කරන්නේ…?” කෙල්ල මගේ උරිස්සෙන් හොල්ලලා කතා කළා.
“මුකුත් නෑ…ඉස්සර කාලේ මතක් වුණා…”
“ආන්ටිට එහෙනම් Address එකක් දීපු එකක් මතක් වෙන්න ඇති. ඒ කාලේ දුන්නේ එහෙමනේ….” පවනි කියද්දි හැමෝම හිනාවුණා.
“මං කාගෙවත් කකුළ් පාගන්න ගියේ නෑ Address හම්බුවෙන්න….” මමත් හිනාවෙවී කිව්වා.
“මෙයා කකුළ් පෑගුවේ නෑ…මෙයාගේ කකුළ පාගලා දීලා ගියා මිසක්…” සේයා නම් ඉතිං මගේ ජීවන කතා වස්තුවම දන්නවනේ.
“අනේ ඔව්… ඒ කාලේ කොල්ලොන්ට වෙන වැඩ නෑනේ….” මම සේයා දිහා බලන ගමන් කිව්වා.
“ආන්ටි ඉතිං තාමත් ලස්සනට ඉන්නවනේ… ඕන කොල්ලෙක් රැවටෙයි…”
“ඇයි අපේ අයියා දවසක් ඇහුවනේ…අනුකිගේ අක්කද කියලා…මම හොඳට අන්දන්න ගියේ අයියව…කොහෙද මේ මැට්ටි කිව්වනේ අම්මා කියලා….” කෙල්ලගේ යාළුවෙක් කියද්දි මම ඔළුවේ අතගහගත්තා.
“අම්මෝ… ඔයාලා මාර වැඩනේ කරන්නේ…”
“කොල්ලෝ විහින් ආන්ටි සමහර වලවල් වල වැටෙන්නේ…ඒකට ඉතිං අපි මක් කරන්නද…?”
“හත්වලාමේ වෙච්ච දේට මක් කරන්නද…?” කියලා කෙල්ලෝ ටික මහ හයියෙන් හිනාවුණා.
ඇත්තටම මුන් ටික අනාගතේ මොනවා කරයිද කියලා මට නම් හිතාගන්නවත් බෑ. හැබැයි ටික ටික හරි මෙයාලා ජීවිතේ තේරුම් ගන්නවා නම් ඒ ඇති.
©නදීශානි බණ්ඩාර දොඩංගොල්ල

 

- A word from our sposor -

spot_img

මේ මගේ කතාව – 05 කොටස

වේගවත් ව පරිගණකය හසුරුවන අලුත් තාක්ෂණය -ලීප් මෝෂන් (Leap motion)

ලීප් මෝෂන් කියන්නේ සාමාන්‍ය මවුස් එකක් හෝ කී බෝඩ් (key board) එකකටත් වඩා පහසුවෙන් touch screen එකකටත් වඩා වේගයෙන් computer එක හා සම්බන්ධ විය හැකි තාක්ෂණයක්,...

වෙනස්ම රසයකට ගස් ලබු කෑම

පැපොල් එහෙමත් නැතිනම් ගස්ලබු කියන්නේ ලංකාවේ ඕනෑම ප්‍රදේශයකදී දකින්නට ලැබෙන පළතුරක්. නිතර දකින්න ලැබෙනවා වගේ තමයි ඕනෑම දේශගුණික තත්වයකදී වුවද පහසුවෙන් විය හැකි ශාකයක්....

Facebook වාරණයට ලක් වූ මූර්තිගේ ඡායාරූප එකතුව

ෆේස්බුක් අවකාශයෙන් මෑතකදී වාරණයට ලක් වූ මෑත කාලයේදී ලංකාවේ බිහිවූ අග්‍රගන්‍ය ඡායාරූප ශිල්පියකු වන මූර්ති යූ සෙනෙවිරත්නගේ පහත ඡායාරූප එකතුව සැබවින්ම සදාචාර විරෝධීද... ඔබගේ අදහස...

මඟුල් පෝරුවේ චාරිත්‍ර – 1 කොටස

පෝරුවේ චාරිත්‍ර හා එහි ආරම්භය පෝරුව යනුවෙන් සිංහල භාෂාවෙන් හඳුන්වනු ලබන්නේ "පුවරුව" යන තේරුම ඇති වචනයටයි. සංස්කෘත භාෂාවෙන් මෙන්ම පාලි භාෂාවෙන් ද විවාහ මණ්ඩපය ලෙස...

ගැහැනිය කෙළිබඩුවක් ද

මුදල් ඇමැතිවරයා පසුගිය දා ගෙනා කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීම සහ මත්පැන් අලෙවි සැල්වල සේවය කිරීමට පනවා තිබූ තහනම ඉවත් කිරීමේ ගැසට් නිවේදනයත් සමඟ ම...

ලොව වැඩිම බුද්ධිමතුන් සිටින රට ලෙස ශ්‍රී ලංකාව

ස්ටැටිස්ටා ආයතනයේ අවතම සංඛ්‍යා ලේකන අනුව ඊශ්‍රායලය ලගට ලොව වැඩිම බුද්ධිමතුන් සිටින රට ලෙස ශ්‍රී ලංකාව වාර්තා වී ඇත. බුද්ධි ගලනය හේතුකොට ගෙන මෙම...

ඔබට නව පණක් දෙන අරුම පුදුම යෝගී කලාව

යෝග යනු පැරණි ඉන්දියාවේ නැණවතුන් විසින් සියවස් ගණනකට පෙර සොයා වැඩි දියුණු කරගෙන ප්‍රයෝජනයට ගත් ශරීර සනීපය වඩවන පැරණි කලාවකි. යෝග යනු ආගමක්වත්, ජීවයේ පැවැත්ම...

ශ්‍රී ලංකාවේ දෙමළ පවුල ඕස්ට්‍රේලියාවම කළඹවයි

ශ්‍රී ලංකාවට පිටුවහල් කරනු ලැබූ සිව් දෙනෙකුගෙන් යුත් පවුලක් (ඕස්ට්‍රේලියාවේ උපන් කුඩා දරුවන් දෙදෙනෙකු ද ඇතුළුව) ශ්‍රී ලංකාව බලා පිටත් වූ ගුවන් යානයකින් මෙරටට...

දඬුවම ලැබිය යුත්තේ ගැහැණිය ද

එදාට වඩා අද සමාජය වෙනස් ය. එය හොඳ හෝ නරක කෙසේ වුවද වෙනසක් ඇති බව ඔබට ද වැටහෙනු ඇත. තරුණ වියේ දී විවාහ වීම...