Friday, April 19, 2024

Top 5 This Week

Related Posts

තනියෙම නම් තහනම් – සූක් වාකිෆ්

“සූක් වාකිෆ්” කියන්නේ කටාර් රාජ්‍යයේ තියෙන පැරණිම වෙළඳපොළක්. “සූක්” එකක් කියන්නේ විශාල භූමි ප්‍රමාණය පැතිරුනු වෙළඳපොළක්.

සූක් එක අවුරුදු 100ක් විතර පරණයි. හැබැයි සාම්ප්‍රදායික ගෘහ නිර්මාණයන් රැකගන්න ඕනේ නිසා මේක ප්‍රතිසංස්කරණය කිරීමක් සිදු කළා 2006 අවුරුද්දෙදි.
දෝහා අල් සූක් ප්‍රදේශයේ තමයි මේ සූක් එක පිහිටලා තියෙන්නේ. මුල් කාලේ වෙළඳපොළක් විදිහට බෝට්ටු වලට තොටුපොළට ඇතුළ් වෙන්න අවසර දෙන්න පහසු වෙන්න වෙරළට කිට්ටුවෙන් තමයි පිහිටලා තිබිලා තියෙන්නේ.

1990 දශකයේදි කටාර් රාජ්‍යය දියුණු වෙන්න පටන් ගද්දි සූක් එකේ වෙළඳාම පහළ වැටුණා. ඒ වගේම 2003 අවුරුද්දේ ඇතිවුණු ගින්නෙන් සූක් එකට ගොඩක් අලාභ හානි සිදු වෙලා තියෙනවා. ඉන්පසුව තමයි රජය විසින් ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරලා තියෙන්නේ 2006 අවුරුද්දෙදි. 1950 පස්සේ ඉදිකරපු ගොඩනැඟිලි කඩලා පැරණි විදියටම සූක් එක ගොඩනංවලා තියෙනවා. 2008 අවුරුද්ද වෙනකොට ප්‍රතිසංස්කරණ කටයුතු නිමා කරන්න මේ අය සමත් වුණා. මැද පෙරදිග වෙළඳපොළවල් වල දකින්න ලැබෙන පොදු ලක්ෂණ මේකෙත් දැකගන්න පුළුවන්.

කටාර් ගෘහ නිර්මාණ ශිල්පයේ විශ්ෂ්ඨ ලක්ෂණ රැසක් සූක් එකේදි දැකගන්න පුළුවන් වෙනවා. නව අළුත් වැඩියා කිරීමෙන් පසුව වාහන 3000 නවත්වන්න පුළුවන් භූගත රථගාල් දෙකක් ඉදිකරලා තියෙනවා. ඒ වගේම කාළගුණික වෙනස් වීම් වලට ඔරොත්තු දීමට හැකිවන පරිදි ජලය, නව තාක්ෂණික ක්‍රමවේදයන් ඔස්සේ මේ තුළ භාවිතා වෙනවා.

හැම අවුරුද්දකම දෙසැම්බර් ඉඳන් ඊළඟ අවුරුද්දේ අප්‍රේල් මාසේ අවසන් වෙනකල්ම උත්සව කාලේ සූක් එකේ සමරනවා. කාළගුණය යහපත් නිසා මේ කාලෙට සංචාරකයින් කටාර් වලට එනවා. උණුසුම් කාළගුණය වෙනුවට සීතල කාළගුණයක් තමයි තියෙන්නේ.

කටාර් වලදි සුරතල් සතෙක් එහෙම මිලදී ගන්න ඕනේ නම් යන්න ඕනේ සූක් එකට. හැම ජාතියෙම සුරතල් සත්තු මෙතන ඉන්නවා. විවිධ මිල ගණන් යටතේ මෙයාලා අලෙවි වෙනවා. කටුක දේශගුණික තත්වයන් වලට මූණ දීලා සතුන් මියයන එක ගැනත් චෝදනාවක් තියෙනවා. ඒත් මේ සත්තු ගැන හොයලා බලලා හරියට එයාලව බලාගන්නේ නැත්තන් දඬුවම් කරන්න පිරිසකුත් ඉන්නවා. මේ රටේ සතෙක් හදන එක හිතන් තරම් ලේසි නෑ. තව දෙයක් කියන්න ඕනේ. ලංකාවෙදි නම් අපිට පාරවල් පුරාම දකින්න පුළුවන් වෙන්නේ බල්ලෝ වුණාට මෙහේ නම් පාරවල් පුරාම ඉන්නේ පූසෝ. එක එක ජාතියේ එක එක පාට කට්ටිය ඉන්නවා.

“තනියෙම නම් තහනම්” කියලා මම මුලින්ම කියලා තියෙන්නේ ඇයි කියලා දැන් බලනවා ඇති නේද? හේතුව මේකයි. සූක් එකට එනවා නම් තමන්ගේ පවුලේ අය එක්ක එහෙම නැතිනම් යාළුවෝ එක්ක එන්න ඕනේ. එහෙම නැත්තන් මෙතන ඉන්න ආරක්ෂක නිළධාරීන්ගේ ප්‍රශ්ණ කිරීම වලට ලක්වෙනවා. ඒකත් ගෑණු ළමයින්ට නෙමෙයි. පිරිමි ළමයින්ට තමයි බලපාන්නේ. තනිකඩ පිරිමි ළමයි තනියෙම මෙතෙන්ට එන්න ඔට්ටු නෑ ඔන්න…

අරාබිකරේ ප්‍රසිද්ධ “රෙගාග් රොටී” (Street Food) වල රස බලන්න සූක් එකේදි පුළුවන්. මෙතන තමයි කටාර් වල “රෙගාග් රොටී” රස බලන්න ප්‍රසිද්ධම තැන. අරාබි කාන්තාවන් තමයි ඒක හදන්නේ. චොක්ලට්, බිත්තර, චීස් වගේ තමන් කැමති පිරවුමක් එක්ක හදාගන්න පුළුවන්. කටාර් රියල් 5ක් වගේ මුදලක් වැයවෙන්නේ. ලංකාවේ මුදලින් නම් රුපියල් 200ක් විතර. රස නම් උපරිමයි.

මේ සූක් එකේ අවන්හල් රැසක් දැකගන්න පුළුවන්. මෙතන සීෂා වලට හරිම ප්‍රසිද්ධයි. “සීෂා” කියන්නේ මත්ද්‍රව්‍යයක්. දුම්පානය කරනවා වගේ තමයි. ගැහැණු පිරිමි භේදයකින් තොරව හැමකෙනෙක්ම වගේ ඒකට පුරුදුවෙලා. ඒක ඇබ්බැහිවීමක් කියලා කියන්න පුළුවන්. විවිධාකාර අවන්හල් රැසකින් සමන්විත වෙන නිසා දෙස් විදෙස් ආකර්ෂණය නොඅඩුව මේ සූක් එකට ලැබෙනවා.

ඒ වගේම සාම්ප්‍රදායික සංගීතය, සංස්කෘතික සංදර්ශන මේ ස්ථානයට රැගෙන එන්නේ නොමද ආකර්ෂණයක්. සූක් එකේ තියෙන අල් රයන් රඟහලේ 980 දෙනෙකුට එකවර අසුන් ගැනීමේ පහසුකම් තියෙනවා.

මේ සූක් එකේ අලෙවි කරන්නේ සාම්ප්‍රදායික ඇඳුම් පැළඳුම්, කුළුබඩු වර්ග, හස්ත කර්මාන්ත නිෂ්පාදන වගේම සිහිවටන ලෙස තබාගත හැකි දේවල්. විවිධ සුවඳ වර්ග වලින් තියෙන සුවඳ විලවුන් වර්ග, ස්වර්ණාභරණ වගේ දේවලුත් සූක් එකේ අලෙවි වෙනවා.

සූක් එකේම එක කොටසක “රත්තරන් සූක්” (Gold Souq) එක පවත්වාගෙන යනවා. ඒක හරියට ලංකාවේ හෙට්ටි වීදිය වගෙ. සාම්ප්‍රදායික වගේම අළුත් මෝස්තර වලට නිර්මාණය කරන රන් ආභරණ මෙතන දැකගන්න පුළුවන්. ඒ වගේම මිලදී ගන්නත් පුළුවන්.

උත්සව කාලෙට දෙස් විදෙස් ජනතාවගෙන් පිරෙන සූක් එකේ හැමකෙනාටම විනෝද වෙන්න අවස්ථා සැලසෙනවා. පොඩි දරුවන්ට සෙල්ලම් කරන්න වෙනම ප්‍රදේශයක් වෙන්කරලා තියෙනවා. පවුල් පන්සල් වෙලා ඉන්න උදවියට විතරක් ඇතුළ් වෙන්න දෙන එළිමහන් රඟහලක්ද ඒ කාලෙට තියෙනවා. ඒක ටිකක් විතර අමුතුයි නේද? ඒ කියන්නේ ඒ සීමාවට ඇතුළ් වෙන්න පුළුවන් වෙන්නේ විවාහක යුවලකට හරි දරුවෝ එක්ක ඉන්න අයට හරි විතරයි. පනවලා තියෙන ආසන වල අසුන් ගන්න අවසර එයාලට විතරයි. කොහොමත් මෙතෙන්ට තනියෙම එනවට වඩා එක යාළුවෙක් එක්ක හරි ආවොත් ගොඩක් වටිනවා.

හවස් වෙලා සූක් එක පැත්තේ එන එක හොඳයි. මොකද විදුලියෙන් ආලෝකමත් වුණාම සූක් එක හරි ලස්සනයි. මෙතන ඉන්නවා චිත්‍ර අඳින්න දක්ෂ චිත්‍ර ශිල්පීන් රැසක්ම. එයාලට කියලා තමන්ගේ චිත්‍රයක් වුණත් ඇඳගන්න පුළුවන්. ඒ වගේම හරිම ලස්සන සුන්දර අත්කම් නිර්මාණ රැසක් මෙතනදි මිලදී ගන්න පුළුවන්.

සුදු අශ්වයෝ පිට උඩ නැඟුනු සාම්ප්‍රදායික ඇඳුමෙන් සැරසුණු ආරක්ෂකයෝ තාමත් මේ සූක් එක පුරා සැරිසරනවා. ඒ එයාලගේ අභිමානවත් අතීතයට එයාලා තාමත් ආදරේ කරන නිසා, ඒක රැකගන්න ඕන නිසා.

©නදීශානි බණ්ඩාර
දෝහා සිට ලියමි.

 

Popular Articles