Saturday, April 27, 2024

Top 5 This Week

Related Posts

ගෑණු ගෑණුන්ටම ඉරිසියාද?

මේ කැප්ශන් එක දකිනකොට මොකද හිතෙන්නෙ? ඔව් කියල කියවුනා නේද? ඒ අතරම තවත් කෙනෙකුට නෑ, මේක බොරුවක් කියලත් හිතෙන්න පුලුවන්. මේ කාරණාව ගොඩක් දුරට අත්දැකීම් අනුව පුද්ගලානුබද්ධ උනත්, මේක ඇත්ත කියල හිතන් ඉන්න අයටනම් ඒ දේ තවත් තහවුරු වෙන විදිහේ දෙයක් පසුගියදා නිමාවුනු දෙරණ Dream Star Season XI Grand Finale වලදි සිදුවුණා.

අද කාලෙ ඉතින් හතු පිපෙනවා වගේ ගායන තරු බිහිවෙනවනෙ. හැම නාලිකාවකම මේ වෙනුවෙන් කරන විවිධාකාරයේ වැඩසටහන් අතර රියැලිටි වැඩසටහන් ඉදිරියෙන්ම තියනවා. විදේශ රටවල වගේම ලංකාවෙත් මේ දේවල් වලට ඉතා ඉහළ ප්‍රේක්ෂක උනන්දුවක් දක්නට තියනවා. මේ තරඟ වලට සහභාගිවන තරඟකරුවන් අතර තරඟයේ අවසානය දක්වා යනකොට ලොකු බැඳීමක් වගේම කිරුළ තමන්ගෙමයි, කොහොමහරි දිනනවා කියන හැඟීමත් ඇතිවෙනවා. ඒක අතිශය ස්වභාවිකයි. ජයග්‍රහණය වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරන්නත්, කොටින්ම තමන්ව පවා වෙනස් කරගන්නත් ඔවුන් පෙළඹෙනවා අපි ඕනෑතරම් දැකලා තියනවා. පසුගියදා නිමාවුනු දෙරණ Dream Star Season XI Grand Finale ජයග්‍රහණය කරපු අංජලී හේරත් කියන තරඟකාරියත් අන්න ඒ වගේ. ඇය තමන්ගෙ කටහඬ, හැකියාවට අමතරව තමන්ටම අනන්‍ය වූ පෙනුම නිසාත් ප්‍රේක්ෂකයන් අතර දැඩි කතාබහට ලක්වුනා.

අංජලී ගැන කතාකරනවානම් ඇය රැකියාව කරන්නෙ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ. ඉතින් රාජකාරියේදී ඉක්මනින් සූදානම් වීමත්, පහසුව සඳහාත් ඇය තමන්ගේ කොණ්ඩය කොටට කපා තිබෙනවා. පිරිමි ළමයෙකු වගේ පෙනුමක් මේ නිසා ඇය තුළින් දිස්වෙනවා. ඒ විතරක් නෙවෙයි, තරඟය තුළ අන් කිසිම තරඟකාරියකට නොමැති, ඇයටම විශේෂ වූ පෙනුමකුත් මේ කොට කොණ්ඩය නිසාම ඇය සතුයි. ඉතින්, ඇයට තරඟයේ ඉදිරියටම ගිහින් ඉහළ මනාප ප්‍රමාණයක් ලබාගෙන කිරුළ හිමිකරගන්න තමන්ගේ කටහඬ, හැකියාව, කැපවීම, වාසනාව වගේම මේ unique පෙනුම නිසා ඇතිවූ ප්‍රේක්ෂක ආකරෂණයත් හේතුවක් වුනා කියන්න පුලුවන්. නැතිනම් මේ රටේ කාන්තාවන් ඉදිරියට එනවාට වැඩිදෙනෙක් කැමති නෑනෙ.

අංජලීගේ ජයග්‍රණය ගැනත්, අවසාන මහා තරඟයේ ඇයගේ ගායනය ගැනත් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්තාර් වරුන්ගේ දහසකුත් එකක් වූ විවේචන අතර මේ තරඟයේ Grand Finale වලදි අංජලී තරම්ම කතාබහට ලක්වුනු අනිත් සිහින තාරකාවිය තමයි විදූශා කියන්නෙ. අවසාන මහා තරඟයේ කාන්තා නියෝජනය වැඩි විමත්, අංජලී ජයග්‍රහණය ලබන අවස්ථාවේ විදූශාගේ මුහුණේ ඉරියව් කැමරා කාචයේ සටහන් වීමත් නිසා ඇය ගැන ගොඩක් දේවල් කියවෙන්න පටන් අරන්. ඇය අංජලීට ඉරිසියා බවත් එය ඇගේ මුහුණෙන් පෙනුනු බවත්, ගෑනු ගෑනුන්ට ඉරිසියා කරනවා කියන දේ මේ නිසාම ඇත්ත බවත් බොහෝ දෙනෙකුගේ මතය වුණත්, මේ ගැන ඇතැම් අය දරන්නෙ වෙනස් මතයක්. ඒ තමයි අර කලින් කිව්වා වගේ තරඟයේ අවසානය තෙක් යනකොට කිරුළ තමන්ගෙමයි, කොහොමහරි දිනනවා කියන ස්වභාවික හැඟීම ඇතිවෙනවා. ඉතින් විදූශාත් ඒ වගේ. ඇයත් ජයග්‍රහණය බලාගෙන ආව තරුණියක්. කිරුළ මගේමයි කියන අදහස සහ ඒ වෙනුවෙන් වූ හීන කන්දක් ඇය තුළත් තියනවා. විදූශාත් ඒ වෙනුවෙන් කැපකිරීම් කරන්නට ඇති. කවුද පරදින්න තරඟ කරන්නෙ නේද?

ජයග්‍රහණය සඳහා මොනතරම් දේවල් බලපෑවත්, තරඟයේ ස්වභාවය අනුව දිනන්නෙ එක්කෙනයි. අංජලීගේ ජයග්‍රහණයත් එක්කම විදූශාගේ කිරුළ ගැන සිහිනය එක ක්ෂණයකින් බොඳවී යන්නට ඇති. එහෙම උනාම එම සැරේම හිනාවෙන්න පුලුවන් කාටද? ඇයගේ මුහුණෙන් දිස්වන්නට ඇත්තේ ඒ කණගාටුව වෙන්නට පුලුවන්. ගොඩක් අය ඉරිසියාවක් විදියට දකින්නත් ඇත්තේ ඇගේ ඒ ක්ෂණික කණගාටුව විය හැකියි. මිනිස් සිත කියන්නෙ ඉතින් තත්පරයක් පාසා වෙනස් වන දෙයක්නෙ. විදූශාගේ හිතෙත් ඒ තත්පරය තුළ හැඟීම් සමුදායක් ඇතිවී නැතිවී යන්නට ඇති. ඒකෙ රහ දන්නෙ ඉතින් ඒ වගේ අවස්ථාවකට මුහුණ දීපු කෙනෙක් විතරයි. අවාසනාවකට කැමරා කාචයේ සටහන් උනේ ඒ ඉරියව් වීමත්, සමාජ මාධ්‍ය තුළිනුත් විශාල ගොසිප් නිරමාණය වීමත් ඇය අපහසුතාවයට හා කතාබහට  ලක්වෙන්නටත් ඇති. අපේ අය හොඳ දේට වඩා නරක දේ ග්‍රහණය කරගන්නවත් වැඩිනෙ. ඕනම දේක වැරදිම දකින්න පුරුදු උන ලාංකිකයන්ට මේක ඉරිසියාවක් වගේ පෙනුනට මේ එහෙම දෙයක් නෙවෙයි කියල තේරුම් ගන්නෙ කීයෙන් කීයක්ද? සහකම්පනය කියන දේ අපේ අයට ඇත්තෙම නෑනෙ.

කොහොම උනත්, කවුරු මොනවා කිව්වත් දැන් තරඟය ඉවරයි. අංජලී ජයග්‍රහණය කරලාත් ඉවරයි. ලංකාවෙ රියැලිටියක අවසාන මහා තරඟය දක්වා එන එකත් ලේසි දෙයක් නෙවෙයි. කැපිලි කෙටිලි, තිරය පිටුපස අසාධාරණකම් එමට තියෙන්නත් ඇති. කාන්තාවන් වීම නිසාම අනවශ්‍ය බලපෑම් පවා එන්නට ඇති. එහෙම නොවෙන්නටත් ඇති. ගෑනු ගෑනුන්ට ඉරිසියයි කිව්වට පිරිමිත් හොඳයි කියන්න බෑනෙ. ඒ කිව්වෙ හැමෝම නෙවෙයි, සමහරක් විතරයි. ඒ හොඳ නරක හැම දෙයක්ම මැද්දෙන් අවසානය දක්වා ආව හැම කෙනෙක්ම ඉතාමත් දක්ෂයෝ. තරඟයේ ස්වභාවය අනුව එක්කෙනෙක් දිනුවත් අනිත් තාරකාවන්ගේ දක්ෂතාත්, ඔවුන් ලද අත්දැකීමුත් සුළුකොට තකන්න බැහැ. ඉතින් කිරුළ දිනූ අංජලීටත්, දෙවන ස්ථානය ලැබූ විදූශාටත්, අනිත් තාරකාවන් සියලු දෙනාටමත් ගායන ක්ෂේත්‍රයේ දිගු ගමනක් යන්න සුභ පැතුම්!

ලිපිය : කවීතා විජේසේකර

Popular Articles