Top 5 This Week

Related Posts

ශ්‍රී ලාංකීය නූතන ගෘහ නිර්මාණ ශිල්පයේ කාන්තා සලකුණ……

ශ්‍රී ලාංකීය නූතන ගෘහ නිර්මාණ ශිල්පයේ කාන්තා සලකුණ……

අපේ රටේ ගෘහ නිර්මාණ ශිල්පය එහෙමත් නැත්නම් Architecture කියන දේට ගොඩක් ලොකු ඉතිහාසයක් තිබෙන බව කිය්වන ඔබත්, මේ ලියන මමත් සමග අපි හැමෝම දන්නා කාරණයක්. නමුත් එක්තරා කාල වකවානුවකදි මේ ගෘහ නිර්මාණ ශිල්පය (Architecture) කියන විෂයත්, ගෘහ නිර්මාණ ශිල්පියා (Architect) කියන වෘත්තියත්, අපි කියන්නෙ Profession එක කියල, අන්න ඒ දේත් ශ්‍රී ලාංකික ජන සමාජයෙන් මදක් ඈත් වෙනවා. ඒකට හේතු කාරණා කොහොම වුණත් අද අපි ඔබට කියන්න යන්නෙ බහුතරයක් පිරිමින් නියැලෙන ක්ෂේත්‍රයක එක්තරා යුගයකදි ඉතා විශිෂ්ට සේවයක් ඉටු කරමින් නිර්මාණ ගණනාවක් කරපු කාන්තා භූමිකාවක් ගැන. ඇය මේ ක්ෂේත්‍රයට පිවිසෙන්නෙ අර උඩ කියපු විදිහට
Architecture කියන දේ අමතක වුණු කාලයකදී ඇය තමයි ගෘහ නිර්මාණ ශිල්පිනී මිනෙට් ද සිල්වා.ඇය උපත ලබන්නෙ 1918 වර්ෂයේදී. ඇයගේ පියා වෙන්නෙ එවකට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවයෙකු මෙන්ම සෙනෙට් සභිකයෙකු වුණු ජෝර්ජ් ඊ ද සිල්වා මහතා. පසුකාලීනව ඇය බ්‍රිතාන්‍යය බලා පිටත් වෙනවා. එහිදී ලද විධිමත් අධ්‍යාපනයෙන් අනතුරුව නැවතත් 1949 වසරේදී ලංකාවට පැමිණෙන ඇය මෙරට ගෘහ නිර්මාණ ශිල්පයට කැපී පෙනෙන නිර්මාණ රැසක් දායාද කරනවා. මෙතනදි
විශේෂත්වය වෙන්නෙ මහල් නිවාස සංකල්පය අපේ රටට හදුන්වා දෙන්නෙ ඇය විසින් වීම. සීමිත ඉඩ කඩක උපරිම ඵලය ලබා ගනිමින් වැඩි පිරිසකට Occupancy සකසා දීම ඇගේ සංකල්පයක්. මෙරට ගෘහ නිර්මාණ ශිල්පයට ඇය ඉතා වැදගත්
වෙන්නෙ මේ නිසා.

1970 දශකයේ අග භාගයේදී මෙරට පැවති දේශපාලනික පසුබිමත් සමග ඇය නැවතත් බ්‍රිතාන්‍යයට යනවා. ඒ 1979දී. එහිදී ඇය විසින් History of Architecture නමැති කෘතියක දකුණු ආසියාවේ ගෘහ නිර්මාණ ශිල්පය පිළිබද පරිච්ඡේදයක්
සම්පූර්ණ කරනවා. ඒ වෙනුවෙන් ඇයට හොංකොං විශ්ව විද්‍යාලයේ වාස්තු විද්‍යා අධ්‍යනාංශයේ තනතුරක් හොබවන්නත් අවස්ථාව ලැබෙනවා. මෙතනදි සුවිශේෂී කාරණාවක් තමයි මිනෙට් සතුව බ්‍රිතාන්‍ය වාස්තු විද්‍යාඥයින්ගේ රාජකීය ආයතනය (RIBA – Royal Institute of British Architects) මගින් ලද පුහුණුවක් තිබීම. ඒ විතරක් නෙවෙයි, ඇය එම ආයතනයේ තනතුරක්ද හොබවා තිබෙනවා. ඒ තනතුර හොබවපු පළමු කාන්තාවත් ඇයයි. ඇය අපේ රටේ සුවිශේෂී කාන්තාවක්vවෙන්න ඒක තවත් හේතුවක් වෙනවා. ඒ නිසාම ඇයට ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ ආයතනය (SLIA – Sri Lanka Institute of Architects) මගින් ස්වර්ණමය පදක්කමක්ද පිරිනමා තිබෙනවා.

ඇය විසින් කරන ලද වාස්තු විද්‍යාත්මක නිර්මාණ අතර මහනුවර කරුණාරත්න නිවස, ගම්පොළ ජිනරාජ විද්‍යාලය සහ මහනුවර උඩරට කලාසංගමය වගේ උදාහරණ දක්වන්න පුළුවන්. මේ ලිපියේ කලිනුත් සදහන් කලා වගේ ඇය හදුන්වා දීපු මහල් නිවාස සංකල්පය මත ඇය විසින් සැලසුම් කරපු මහල් නිවාස සංකීර්ණ කිහිපයකුත් තිබෙනවා. කොළඹ ඩී වික්‍රමසිංහ මහල් නිවාස, සේනානායක මහල් නිවාස සහ වෛද්‍ය චන්ද්‍රා අමරසිංහ මහල් නිවාස සංකීර්ණය යනාදිය ඒ අතරින් කිහිපයක්.
ශ්‍රී ලාංකිිය නූතන ගෘහ නිර්මාණ ශිල්පයේ නොමැකෙන කාන්තා භූමිකාවක් වන ඇය තමන්ගෙ ජීවිතයේ අවසාන කාලය ඉතාම දිළිදු ලෙස ගතකර ඇති බවයි පැවසෙන්නෙ. ඉතින්, වසර 80ක දිවි ගමනකින් පස්සෙ 1998 වසරේ මහනුවර රෝහලේදී ඇය සිය අවසන් හුස්ම හෙලනවා.

ලිපිය : කවීතා විජේසේකර

Popular Articles